කෑගලු වොලිබෝල් සැණකෙළිය - 2026 අද (18) උදෑසන කෑගල්ල මහජන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙම වොලිබෝල් සැණකෙළිය යටතේ තරගාවලි කිහිපයක් සංවිධානය කර ඇති අතර, අද දිනයේ රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය ආරම්භ විය. පාසල් වොලිබෝල් තරගාවලිය ජූනි 25 දින, ප්‍රජාශක්ති ක්‍රීඩා සමාජ අතර තරගාවලිය ජූලි 4 සහ 5 දෙදින, වතු ක්‍රීඩා සමාජ අතර තරගාවලිය ජූලි 12 දින පැවැත්වීමට නියමිතය.

අද පැවැත්වෙන රාජ්‍ය ආයතන අතර තරගාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 10ක් සහ පිරිමි කණ්ඩායම් 9ක් සහභාගි වෙති. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් රාජ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් මෙම තරගාවලියට එක්ව සිටිති. උණුසුම් හා තියුණු තරග වට රැසකින් අනතුරුව රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය ජූලි 12 දින පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සබරගමුව පළාත් සභාව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සබරගමුව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය, කෑගල්ල වොලිබෝල් සංගමය, කෑගල්ල වොලිබෝල් ක්‍රීඩා සමාජය සහ සබරගමුව පළාතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබයි.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා කෑගල්ල නගරාධිපති නිමල් කරුණාරත්න මහතා, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් දෙපළ, දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමිය, ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.