×

පණිවුඩය

Invalid Page Request

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද කෑගල්ල දිස්ත්‍රික් ප්‍රදර්ශනය හා නවෝත්පාදන සායනය අද (26) කෑගල්ල මහ නගර සභා ශාලාවේදී ආරම්භ විය.

රජයේ "සමෘද්ධිමත් රටක් – ලස්සන ජීවිතයක්" ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුව, ප්‍රාදේශීය මට්ටමින් බිහිවන නවෝත්පාදන හා ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සංවර්ධනය කිරීම, නව නිපැයුම් දිරිගැන්වීම සහ නවෝත්පාදකයන් මෙන්ම නවෝත්පාදකයන් වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමේ අරමුණින් මෙම එක්දින වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙහිදී නවෝත්පාදන නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කිරීම සහ නවෝත්පාදන සායනය ආරම්භ කිරීම පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි සාගරිකා ගංගනී අතුකෝරාල මහත්මිය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවේදී ගලිගමුව විදාතා මධ්‍යස්ථානයේ ව්‍යවසායිකාවක වන නිලක්ෂි විජේසිංහ මහත්මිය වෙත GMP ජාත්‍යන්තර ප්‍රමිතිය සහතිකය සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී.

එමෙන්ම මහජන බැංකුවේ ණය යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීමක් මහජන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු උපුල් බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී.

පාසල් සිසුන් සහ ව්‍යවසායකයන් සඳහා නිර්මාණය කරන ලද නව නිෂ්පාදන සහ නවෝත්පාදන උපකරණ රැසක් ද මෙම ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

මෙම වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික් විධායක නිලධාරී සිදත් සංගක්කාර මහතාගේ සංවිධානත්වයෙන්, පළාත් ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහයෝගයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විධායක අධ්‍යක්ෂ මනෝජි කරුණාරත්න මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (රාජ්‍ය) කුසුම් බණ්ඩාර මහතා, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.