කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු හා සම්බන්ධ විවිධ අංශවල පවතින ගැටලු සඳහා විසඳුම් හා යෝජනා ලබාගැනීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පරිසර අමාත්‍ය සහ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ආචාර්ය ධම්මික පටබැඳි මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැත්විණි.
මෙහිදී පසුගිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කළ විශේෂ ගැටලු, යෝජනා ඉදිරිපත් කිරීම, ආපදා තත්ත්වයන්ගෙන් පසු සිදුකළ කටයුතු සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ප්‍රථමයෙන් සාකච්ඡා කෙරිණි.
එල් නිනෝ තත්ත්වය පිළිබඳ අවධානය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ රටවල් රැසකට බලපා ඇති එල් නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව, ලෝක මට්ටමින් මෙන්ම ශ්‍රී ලංකාව තුළද එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් යම් වෙනස්කම් සිදුවෙමින් පවතින බවත්, එහි බලපෑම ඉහළ මට්ටමක පවතින බවත් ආපදා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය.එම තත්ත්වය අනුව ඉදිරි ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී වර්ෂාපතනය අඩුවිය හැකි බවත්, මේ වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ එල් නිනෝ තත්ත්වයේ විශේෂ වෙනසක් දක්නට නොලැබෙන බවත් සඳහන් කෙරිණි. එසේම, ඉදිරි අගෝස්තු මාසයේදී රටට ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවිය හැකි අතර, සැප්තැම්බර් මාසයේදී සබරගමුව පළාතට සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබිය හැකි බවද පෙන්වා දෙන ලදී. ජාත්‍යන්තර පුරෝකථන අනුව 2027 ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවට අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බැවින්, ඉදිරි කාලයේදී කඳුකර ප්‍රදේශවල ගිනිගැනීම්, පානීය ජල අවශ්‍යතා සහ නියඟ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද සාකච්ඡා විය.එල් නිනෝ තත්ත්වයට මුහුණදීමේදී පූර්ව සූදානම ප්‍රධාන කරුණක් ලෙස සලකා කටයුතු කළ යුතුය යන්න මෙහිදී ඒකමතිකව තීරණය කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.මෙම වසරේ සති 31ක් තුළ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2,325 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් විය. සති 26කට පසුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබී ඇති අතර, මාවනැල්ල, දෙහිඕවිට, වරකාපොළ සහ කෑගල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආශ්‍රිතව රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවද පෙන්වා දෙන ලදී.පවතින උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් මදුරුවන්ගේ ජීවන චක්‍රය දින 7–9 සිට දින 5ක් දක්වා කෙටි වී ඇති බවත්, ඉදිරි කාලයේදී එය තවදුරටත් වේගවත් විය හැකි බවත් මෙහිදී සඳහන් විය.රුවන්වැල්ල, මාවනැල්ල, වරකාපොළ, දෙහිඕවිට සහ කෑගල්ල යන ප්‍රදේශවල මදුරු ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කළ යුතු බවද සාකච්ඡා කෙරිණි.කෙසේ වෙතත්, ඩෙංගු පොකුරු (Dengue Clusters) අඩුවීමක් දක්නට ලැබීමත්, රාජ්‍ය ආයතන තුළ ඩෙංගු ව්‍යාප්තිය 69%කින් පමණ අවම කර ගැනීමට හැකිවීමත් මේ දක්වා සිදුකළ වැඩසටහන්වල සාර්ථක ප්‍රතිඵලයක් බව මෙහිදී පෙන්වා දෙන ලදී.කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, පාසල් ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය 54%ක් පමණ වන බවයි.ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව 2026 ජූලි 31 වන දින සියලුම රාජ්‍ය ආයතන තුළ විශේෂ ඩෙංගු මර්දන දිනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්, එදිනට අදාළ ඩෙංගු මර්දන කටයුතු විධිමත්ව සිදුකළ යුතු බවත් සෞඛ්‍ය අංශය අවධාරණය කළේය.මේ දක්වා ක්‍රියාත්මක කළ සියලුම ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් විය.ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා සහය ලබාදුන් ශ්‍රී ලංකා යුද හමුදාව, ප්‍රාදේශීය සභා, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු අනෙකුත් ආයතන වෙතද මෙහිදී ස්තූතිය පළ කෙරිණි.
දිස්ත්‍රික් සීමා සංශෝධන පිළිබඳ සාකච්ඡා
2026 වසරට අදාළව කෑගල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සීමා කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ යටතේ පළාත් හෝ දිස්ත්‍රික් සීමා සංශෝධනය, නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටුවීම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමා සංශෝධනය, ග්‍රාම නිලධාරී වසම් සීමා සංශෝධනය, ග්‍රාම නිලධාරී වසම් ඒකාබද්ධ කිරීම හා වෙන් කිරීම ඇතුළු මූලික කරුණු හයක් පිළිබඳව අවධානය යොමු විය. එම යෝජනා සංඛ්‍යාව, සංශෝධනය කළ යුතු යෝජනා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟින් නිර්දේශ කළ යෝජනා සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් නොවූ යෝජනා පිළිබඳවද මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ඉදිරිපත් වී ඇති සීමා සංශෝධන යෝජනා සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය විසින් කරුණු ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී එකඟතාවයකට පැමිණ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙහිදී තීරණය කෙරිණි.




























