දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුකමිටුවක් ලෙස ක්‍රියාත්මක වන දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටුව ඊයේ (11) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

මෙහිදී දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීම හා සාකච්ඡා කිරීම, පවතින ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබාදීම, නව යෝජනා පිළිබඳ සලකා බැලීම මෙන්ම අදාළ කරුණු ජාතික මට්ටමට යොමු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

දිස්ත්‍රික්කයේ වගා කළ හැකි හා දැනට වගා නොකරන ඉඩම් පිළිබඳව මෙන්ම, සුදුසු නවීන කෘෂිකාර්මික තාක්ෂණයන් භාවිත කරමින් අස්වැන්න උපරිම කර ගැනීම, කෘෂි නිෂ්පාදන නිසි පරිදි ගබඩා කිරීම සහ ගොවීන් සඳහා වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගැනීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම, ඉදිරියේදී ඇති විය හැකි එල් නීනෝ (El Niño) තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ වගා කටයුතු සඳහා සුදුසු නව ප්‍රදේශ හඳුනා ගැනීම පිළිබඳවද විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම වැඩසටහන දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අනෝමා සෙනරත්න මහත්මිය ඇතුළු අදාළ කෘෂිකර්ම බලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබිණි.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා, දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා ඇතුළු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, පොහොර සමාගම් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ තවත් ආයතන රැසක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.