ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වරකාපොල අතුරු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දින සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයට පිවිසෙන ප්‍රධාන දොරටුවක් ලෙස සැලකෙන වරකාපොල නගරය දිගු කාලයක සිට දැඩි මාර්ග තදබදයකට මුහුණ දෙමින් පැවතිණි. මෙම ගැටලුවට විසඳුමක් ලෙස 2021 වසරේදී මෙම අතුරු මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කළද, එවකට පැවති ආර්ථික, සමාජීය හා දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් එය මුල්ගල් තැබීමකට පමණක් සීමා විය.
මෙම විකල්ප මාර්ගය ඉදිකිරීම මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම කෑගල්ල නගරය හරහා ගමන් කරන ජනතාවට සහ මහනුවර දිස්ත්‍රික්කයට පිවිසෙන ජනතාවට වැඩි පහසුවක් සැලසෙනු ඇත. තවද, කුරුණෑගල දිස්ත්‍රික්කයට සහ උතුරු මැද පළාතට ගමන් කිරීමේදී මාර්ග තදබදය අවම කරමින් කාලය ඉතිරි කර ගැනීමට හැකි වන අතර, එමඟින් රටේ ආර්ථිකයට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්වනු ඇත.
මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) අධීක්ෂණය යටතේ මාගා ඉංජිනේරු (පුද්ගලික) සමාගම මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,988ක ඇස්තමේන්තුගත ප්රතිපාදනයක් වෙන් කර ඇත. ඉදිකිරීමට නියමිත මාර්ගය කිලෝමීටර් 2.32ක දිගකින් යුක්ත වන අතර, මීටර් 7ක පළලින් සහ මංතීරු දෙකකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය වසර දෙකක කාලයක් තුළ නිම කිරීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි සාගරිකා ගංගානි අතාවුද මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නන්දන මිල්ලගල මහතා, වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන එදිරිසිංහ මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා, වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.

























