2024 සහ 2025 වර්ෂයන්හිදී දිස්ත්‍රික් හා සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලැබූ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් ඇගයීම සඳහා සංවිධානය කළ දිස්ත්‍රික් හා සමස්ත ලංකා සිසු නිපුණතා ත්‍යාග ප්‍රධානෝත්සවය ඊයේ (30) වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරස්ථානයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව, 2024 සහ 2025 වර්ෂවල සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණ ලැබූ සිසු දරු දැරියන් හත් දෙනෙකු සඳහා විශේෂ සහතිකපත් හා ත්‍යාග පිරිනැමුණු අතර, එම සිසුන් අධ්‍යාපනය ලබන දහම් පාසල් සඳහා ද විශේෂ උපහාර තිළිණ පිරිනැමිණි. එමෙන්ම, 2025 වර්ෂයේ පැවති දිස්ත්‍රික් සිසු නිපුණතා තරගවලින් ජයග්‍රහණය කළ දහම් පාසල් දරු දැරියන් සඳහා ද ත්‍යාග හා සහතිකපත් පිරිනැමිණි.
මෙවර උත්සවයේ තවත් සුවිශේෂී අංගයක් වූයේ ශාසනයේ උන්නතිය සහ දහම් පාසල් අධ්‍යාපනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කළ කෑගල්ල දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල ගරු සභාපති හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇගයීමට ලක් කරමින් උපහාර පිරිනැමීමයි. ඒ අනුව, ස්වාමීන් වහන්සේලා 33 නමක් සඳහා උපහාර පිරිනැමීමට කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවේ පැවිදි අනුශාසනාව සිදු කිරීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණවල අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ වැඩම කළ අතර, ශාසනය වෙනුවෙන් උන්වහන්සේ විසින් සිදු කරන ලද සේවය අගය කරමින් විශේෂ උපහාරයක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාවට මවුපිය ගුණ ගායනා තරගවලින් ජයග්‍රහණ ලැබූ දරු දැරියන් සහ කථික තරගවලින් ජයග්‍රහණය කළ දරු දැරියන්ගේ දක්ෂතා එළිදැක්වීමේ අවස්ථාවක් ද එක් කර තිබිණි.
එමෙන්ම, දේවාලේගම සස්ශ්රී කලායතනයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කළ අපූරු නර්තන අංග කිහිපයක් ද උත්සවය වර්ණවත් කිරීමට එක්කර තිබිණි.
කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය, ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන්ගේ සහ අනුග්‍රාහක භවතුන්ගේ සහයෝගයෙන් මෙවර දිස්ත්‍රික් හා සමස්ත ලංකා සිසු නිපුණතා ත්‍යාග ප්‍රධානෝත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල ගරු සභාපති හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. එල්. රාජපක්ෂ මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතාගේ සම්බන්ධීකරණ ලේකම්තුමා, රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් දරු දැරියන්, ගුරුභවතුන් හා දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


































