දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2026 සැප්තැම්බර් 08 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ප්‍රථමයෙන් පසුගිය කමිටු රැස්වීම්වලදී සාකච්ඡා කරන ලද ප්‍රශ්න හා ගැටලු මෙන්ම මෙවර කමිටුව සඳහා ලැබී ඇති ලිපි පිළිබඳව සාකච්ඡා කරන ලදී.

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය විසින් 2026/27 වර්ෂයට අදාළ එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති කාලගුණ අනාවැකිය පිළිබඳව කමිටුව දැනුවත් කරන ලදී. එම අනාවැකියට අනුව 2026/27 මහ කන්නයේ ආරම්භයත් සමඟ ඔක්තෝබර් අග සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ විශාල වර්ෂාපතනයක් ලැබීමට නියමිත බවත්, ඊට පෙර දිස්ත්‍රික්කයේ වී වගාව කඩිනමින් සංස්ථාපනය කරගතහොත් අධික වර්ෂාව හේතුවෙන් වී පැළ සේදී යාම හා පැළ ගැලවී යාම අවම කරගත හැකි බවත් ඇය පෙන්වා දෙන ලදී.

වර්ෂාව අඩුවීම හේතුවෙන් යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු ප්‍රමාද වී ඇති බවත්, සැප්තැම්බර් 15 වන විට යල කන්නය අවසන් වී මහ කන්නය නිල වශයෙන් ආරම්භ වන බැවින් මේ වන විටත් අස්වැන්න නෙළීම ප්‍රමාද වූ කුඹුරු විශාල ප්‍රමාණයක් පවතින බවත් ඇය සඳහන් කළාය. එබැවින් අස්වැන්න නෙළීම අවසන් වූ වහාම වර්ෂාවත් සමඟ බිම් සකස් කර භෝග සංස්ථාපනය කඩිනමින් අවසන් කළ යුතු බවද පෙන්වා දෙන ලදී.

තවද, 2027 වර්ෂයේ පෙබරවාරි මාසය වන විට වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බැවින්, එම කාලසීමාව තුළ මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කිරීමට අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු සිදු කළ යුතු බවද ඇය අවධාරණය කළාය.

එදින පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමට සමගාමීව පරිසර, ඉඩම් පරිහරණ හා ආපදා කළමනාකරණ කමිටු ද රැස්වී, අදාළ ක්ෂේත්‍රයන්හි පවතින ප්‍රශ්න හා ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

එල් නිනෝ තත්ත්වය යටතේ වී වගාව සඳහා නිර්දේශිත තිරසර කෘෂිකාර්මික මාර්ගෝපදේශ පිළිබඳව ද මෙහිදී දැනුවත් කිරීමක් සිදු කරන ලදී. වර්ෂාව ආරම්භ වීමත් සමඟ බිම් සැකසීම සිදුකර ඔක්තෝබර් 15 වන දිනට පෙර භෝග සංස්ථාපනය අවසන් කිරීම, නොවැම්බර් මාසයේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් සහ 2027 ජනවාරි හා මාර්තු මාසවල ඇතිවිය හැකි නියං තත්ත්වයන්ගේ බලපෑම් අවම කර ගැනීම සඳහා වැදගත් වන බව පෙන්වා දෙන ලදී.

හැකි සෑම අවස්ථාවකදීම මාස තුනහමාරක හා මාස තුනක වයස් ප්‍රභේද නිර්දේශ කිරීමද මෙහිදී සඳහන් විය. භෝග සංස්ථාපනයේදී මාස තුනහමාරක් හෝ ඊට වැඩි වයස් ප්‍රභේද සඳහා පැළ සිටුවීම භාවිත කළ යුතු අතර, පැළ වැපිරීම සඳහා පැරෂුට් හා ඩැපොග් ක්‍රම ඕනෑම වයස් කාණ්ඩයක් සඳහා භාවිත කළ හැකි බවද පෙන්වා දෙන ලදී. තවද, ගංවතුර අවදානමට ලක් නොවන ස්ථානවල තවාන් පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවද නිර්දේශ කරන ලදී.

ගංවතුර හේතුවෙන් පැළ ගහණය අඩු වුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී පමණක් අමතර තවානක් පවත්වා ගැනීමද නිර්දේශ කර ඇත. ගංවතුර හේතුවෙන් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වුවහොත් නැවත වගාව සංස්ථාපනය කිරීම සඳහා මාස දෙකහමාරක හෝ මාස තුනක කෙටිකාලීන ප්‍රභේද තෝරාගත යුතු බවද දැනුවත් කරන ලදී.

එල් නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා තවත් එක් පියවරක් ලෙස ආරක්ෂිත ගෘහ ඉදිකර භෝග වගාකරුවන්ගේ සමූපකාර සමිති (Protected Agriculture Cultivators’ Cooperative Societies – PACS) පිහිටුවීමේ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත. ඒ යටතේ කෑගල්ල, මාවනැල්ල හා රුවන්වැල්ල යන කලාප තුනෙන් සාමාජිකයින් 10 දෙනා බැගින් තෝරාගෙන සාමාජිකයින් 30 දෙනෙකු මේ සඳහා යොමු කිරීමට නියමිතය. එල් නිනෝ තත්ත්වයට මුහුණ දීමේ එක් පියවරක් ලෙස ආරක්ෂිත ගෘහ වගාව සහ බඳුන්ගත වගාව ප්‍රවර්ධනය කිරීමද මෙහිදී අවධාරණය කරන ලදී.

ඔක්තෝබර් 31 වන දිනට පෙර තේ පැළ ස්ථිරව භූමියේ සිටුවීම සඳහා අවශ්‍ය තේ පැළ මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ටී. එම්. එස්. තෙන්නකෝන් මහතා සඳහන් කළ පරිදි, මේ වන විට පොහොර මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබෙන බවද දැනුවත් කරන ලදී. එමෙන්ම දිස්ත්‍රික්කය තුළ නව පොහොර අලෙවිසැල් 12ක් ඉදිවෙමින් පවතින බවත්, එම වෙළඳසැල් 12 සමඟ දිස්ත්‍රික්කයේ සමස්ත පොහොර අලෙවිසැල් සංඛ්‍යාව 78 දක්වා ඉහළ යන බවත් ඒ මහතා පෙන්වා දෙන ලදී.

පාකිස්ථාන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික්කයේ අන්නාසි වගාකරුවන් ලියාපදිංචි කිරීම සඳහා වගාකරුවන්ගේ තොරතුරු ඒකරාශි කිරීමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති උපදෙස් පිළිබඳවද කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන ලදී.

මෙම රැස්වීම සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නිල්මා රාජපක්ෂ මහත්මිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අනෝමා සේනාරත්න මහත්මිය, සැලසුම් අධ්‍යක්ෂ ඉන්දිකා සේනාරත්න මහත්මිය, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් බී. ඒ. චමින්ද පද්ම කුමාර මහතා, දිස්ත්‍රික් කෘෂි ගොවි සංවර්ධන බල මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලුම නිලධාරීන් සහභාගී වූහ.