2026 වර්ෂයේ තෙවැනි කාර්තුවට අදාළ දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.30 දින කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම විගණන කළමනාකරණ කමිටු රැස්වීමේදී අනු කමිටුවේදී සාකච්ඡා කරන ලද කරුණු, පසුගිය විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්වලදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ පසුවිපරම් කිරීම, 2024 සහ 2025 වර්ෂවල විගණකාධිපති සම්පිණ්ඩන වාර්තා පිළිබඳව සලකා බැලීම, ගිණුම්කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පසුවිපරම් කිරීම, අභ්‍යන්තර විගණන කටයුතු පිළිබඳ පසුවිපරම් කිරීම, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම් පිළිබඳ පසුවිපරම් කිරීම සහ මෙහෙයුම් සමාලෝචන සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ඉදිරියේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිසි පසුවිපරම් ක්‍රමවේදයක් පවත්වාගෙන යමින් ප්‍රතිලාභ නිවැරදිව හඳුනාගෙන, අදාළ ව්‍යාපෘතිවල අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි කටයුතු කිරීම සුදුසු බවට යෝජනා කෙරිණි.

භාණ්ඩාගාරය හරහා ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, ව්‍යාපෘතිවල ප්‍රගතිය කඩිනම් කිරීම සඳහා උනන්දුවෙන් හා සමීප පසුවිපරමකින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. 2026 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කරමින් එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ළඟා කර ගැනීම සඳහා වර්ෂ අවසානයට තවත් මාස තුනක පමණ කාලයක් පමණක් ඉතිරිව ඇති බැවින්, අදාළ ව්‍යාපෘති පිළිබඳව අඛණ්ඩව පසුවිපරම් කරමින් ප්‍රගතිය කඩිනම් කළ යුතු බව අවධාරණය කෙරිණි.

තවද, අස්වැසුම සහ වැඩිහිටි දීමනා ගෙවීම් සම්බන්ධයෙන් පවතින ගැටලු හා අපහසුතා නිරාකරණය කිරීම පිළිබඳවද මෙම කමිටුවේ අවසන් සමාලෝචනයේදී අවධානය යොමු කෙරිණි.

ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයාගේ සංවිධානයෙන් පැවති මෙම දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීමට සහකාර විගණකාධිපති කේ. එම්. සී. කරන්නාගොඩ මහතා, එච්. එන්. ජයසිංහ මහතා – ප්‍රධාන ගණකාධිකාරී (කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය), එස්. ඒ. එන්. ආර්. සුභසිංහ මහතා – ප්‍රධාන අභ්‍යන්තර විගණක (ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය), බී. ආර්. රණසිංහ මහතා – නියෝජ්‍ය අධ්‍යක්ෂ (කළමනාකරණ – විගණන දෙපාර්තමේන්තුව), එන්. එම්. පී. වික්‍රමසිංහ මහතා – සහකාර විගණකාධිපති (ජාතික විගණන උප කාර්යාලය – කෑගල්ල), ඩබ්. ටී. අයි. ජයවර්ධන මහතා – ප්‍රධාන අභ්‍යන්තර විගණක (දිස්ත්‍රික් ලේකම් කාර්යාලය), අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන කුසුම් බණ්ඩාර මහත්මිය (පාලන) සහ දිලිප් නිශාන්ත මහතා (ඉඩම්), සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්), සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් සහ කෑගල්ල සහකාර ඉඩම් කොමසාරිස් ඇතුළු අදාළ නිලධාරීන් සහභාගි වූහ.