ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සැමරුම් උත්සවය අද (01) පින්නවල සත්වෝද්‍යානයේදී පැවැත්විණි. කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සගරිකා ගංගානි අතුකෝරල මහත්මියගේ සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති කේ. ජී. එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙවර ලෝක ළමා දින සැමරුම “මනස සවිබල ගන්වා – දරුවන් සවිමත් කරමු” යන තේමාව යටතේ පැවැත්විණි. ඒ හා සමගාමීව කෑගල්ල, අරණායක සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පෙරපාසල් දරුවන් සහභාගී කරවා ගනිමින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

උත්සවය අතරතුර දරුවන්ගේ විවිධ නර්තන අංග, රඹුක්කන වැඩිහිටි බල මණ්ඩලයේ එම්. ඩී. ආර්. ආරියලතා මහත්මිය විසින් දරුවන් වෙනුවෙන් සිදු කළ කතාන්දර ඉදිරිපත් කිරීම සහ දක්ෂතා දැක්වූ දරුවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවයේ තවත් විශේෂ අවස්ථාවක් වූයේ පින්නවල සත්වෝද්‍යානයේ සිටින මැකෝ ගිරවකු, බැටළු පැටවකු සහ ඉත්තෑවකු දරුවන්ට හඳුන්වා දීමයි. එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනික ආධාර ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි. ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ දායකත්වය කාම් ෆැෂන් (Kam Fashion) රාජ්‍ය නොවන සංවිධානය විසින් ලබා දෙන ලදී.

පින්නවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් ඇගයීම ද මෙහිදී සිදු වූ අතර, දිවයින පුරා ක්‍රියාත්මක මහජන ආරක්ෂක වැඩසටහන යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ඇගයීම සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ ඇගයීම් වැඩසටහනක් ද පැවැත්විණි.

තවද, ළමා සංවර්ධනය අරමුණු කරගත් විවිධ වැඩසටහන්, පැළ සිටුවීමේ වැඩසටහන්, චිත්‍ර තරග, ශිෂ්‍ය තානාපතිවරුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ දේශන ද සංවිධානය කර තිබිණි. රඹුක්කන පරාක්‍රම විද්‍යාලයේ වීදි නාට්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද නාට්‍ය අංග ද උත්සවය වර්ණවත් කළේය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරිනී විනෝදනී කුලතුංග මහත්මිය, දිස්ත්‍රික් මනෝසමාජීය නිලධාරිනී චතුරිකා බණ්ඩාර මහත්මිය, දිස්ත්‍රික් ළමා සංවර්ධන නිලධාරිනී සුදාරිකා චන්ද්‍රසිරි මහත්මිය සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනී කාන්ති හේරත් මහත්මිය ඇතුළු නිලධාරීහු සහාය වූහ.

එමෙන්ම, ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දරුවන් වෙනුවෙන් චිත්‍ර හා කලා චිකිත්සා වැඩසටහනක් දිස්ත්‍රික් මනෝ උපදේශන නිලධාරිනී රේණුකා ජයරත්න මහත්මිය විසින් සංවිධානය කර තිබිණි.

දිස්ත්‍රික් ළමා හා කාන්තා අංශයේ සියලුම නිලධාරීන්ගේ දායකත්වයත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හා කාන්තා අංශවල නිලධාරීන්ගේ සහ පින්නවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ සහායත් සමඟ මෙම සැමරුම් උත්සවය සාර්ථකව පැවැත්විණි.

කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත මහතා, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගේදර මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. පියදර්ශනී මහත්මිය, පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිලානි අමරසිංහ මහත්මිය, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථාන නියෝජනය කරන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හා කාන්තා අංශවල නිලධාරීන්, දෙමාපියන් සහ දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.