කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් තුන්සිංහලේ තුන් කෝරළේ සාහිත්‍ය කලා උළෙල – 2026 හි පළමු අදියර ඔක්තෝබර් මස 02 සහ 03 යන දෙදින තුළ කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සාහිත්‍ය කලා උළෙල සංවිධානය කරන ලදී.

උළෙලේ පළමු අදියර ඔක්තෝබර් මස 02 වැනි දින උදෑසන ආරම්භ වූ අතර, දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙතෙක් කිසිදු ඇගයීමකට ලක් නොවූ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් එකොළොස් දෙනෙකු ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.

විවිධ නර්තනාංගයන්ගෙන් වර්ණවත් වූ මෙම උළෙලේදී, දිස්ත්‍රික් මට්ටමේ කාව්‍ය තරගාවලියෙන් ජයග්‍රහණය කළ තරගකරුවන් කිහිපදෙනෙකුට සිය නිර්මාණාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දෙන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සමීර නවතුන්න මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෆාතිමා ෂනාස් මහත්මියගේ සහභාගිත්වයෙන් කෙටි චිත්‍රපට පිළිබඳ විචාරාත්මක වැඩසටහනක් ද පැවැත්විණි. එමෙන්ම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් පරිවර්තනය කරන ලද කෙටිකතා පොත් කට්ටල කිහිපයක් පාසල් වෙත සංකේතාත්මකව ප්‍රදානය කිරීම ද සිදු විය.

මෙවර දිස්ත්‍රික් සාහිත්‍ය කලා උළෙල සඳහා අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දුන් අතර, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කෑගල්ල ශාඛාව, ශ්‍රී ලංකා පොත්හල, සීවලී පොත්හල, කොමර්ෂල් බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව සහ බෝගල ග්‍රැෆයිට් පුද්ගලික සමාගම ඇතුළු ආයතන රැසක් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකවරුන්, පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නගරාධිපතිතුමා, ප්‍රාදේශීය සභා සභාපතිතුමා, දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් හා උළෙලේ සභාපති කේ. ජී. එස්. නිශාන්ත මහතා, රාජ්‍ය නිලධාරීන්, සබරගමුව පළාත් සභාවේ නිලධාරීන්, පරිවාස හා ළමාරක්ෂක සේවා සහ ග්‍රාමීය සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත අංශවල නිලධාරීන්, කලාකරුවන් සහ සාහිත්‍ය උළෙලේ ජයග්‍රාහකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.