දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා තවදුරටත් ඇප කැපවී කටයුතු කළ යුතුව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය. ඒ අනුව ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු වස් රජය විසින් ආරම්භ කර ඇති විවිධ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට සහභාගී වෙමින් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා මෙම අදහස් පළ කළේය.

මහ කන්නය සඳහා පොහොර බෙදා හැරීම, නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය, පොල් වගාවට හානි කරන සුදු මැස්සා රෝග මර්ධනය, දිස්ත්‍රික්කය තුළ පෝෂණ අවශ්‍යතා තහවුරු කිරීම සඳහා මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම ඇතුළු දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට වැදගත් කරුණු රැසක් දිස්ත්‍රික් කෘෂි කමිටුවේ දී සාකච්ඡාවට ලක් කෙරුණු අතර පළාත් දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් රාජ්‍ය ආයතන වල ප්‍රගතිය විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි.


මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් කුසුම් බණ්ඩාර, දිස්ත්‍රික් සැළසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකොන් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ විවිධ රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.