කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කරන ලද කලා විභාෂී - 2022 සාහිත්‍ය උළෙල අද (06) පෙරවරුවේදී කෑගලු විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී විචිත්‍රවත් අංග හා හරසර ප්‍රමාණයන් රැසක් මධ්‍යයේ නිමාවට පත්විය.
සර්ව ආගමික වතාවත්වලින් මෙන්ම අංගම් නර්තන, රබන් ,දමිළ නර්තන ,මිශ්‍ර නර්තන මෙන්ම සලුපාලි ඇතුළත් විචිත්‍රාංග රැසකින් මෙවර දිස්ත්‍රික් සාහිත්‍ය උළෙල වර්ණවත් විය .
දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම සාහිත්‍ය මහෝත්සවයේදී "කෑගලු දිසාපති ප්‍රසාද අභිනන්දන " සම්මානයන් සමගින් මූල්‍යමය තිළිණයන් කලාවේ උන්නතිය වෙනුවෙන් කැප වූ දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ කලාකරුවන් දස දෙනෙකු වෙත පිරිනමන ලදී. එම සම්මාන සඳහා ලංකා බැංකුව හා මහජන බැංකුවේ අනුග්‍රහකත්වය හිමිවිය.
දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි පවත්වන ලද සාහිත්‍ය තරගයන්හි දිස්ත්‍රික් මට්ටමේ ජයග්‍රහණ ලබා ගත් සිසු සිසුවියන් මෙන්ම විවෘත අංශයේ ජයග්‍රහණ ලබා ගත් ජයග්‍රහක ජයග්‍රාහිකාවන්ට මෙහිදී සහතික පිරිනැමිණි.
දිසාපතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික්කයේ මෙතෙක් ප්‍රචලිත නොවූ ආගමික, සංස්කෘතික , ආර්ථික, මෙන්ම සමාජීය කරුණු ඇතුළත් "කෑගලු පුරාවත" ග්‍රන්ථය එළිදැක්වීම ද කලා විභාෂි සාහිත්‍ය මහෝත්සවයට සමගාමීව සිදු කෙරිණි.එම කෘතිය රචනා කිරීම සදහා විශේෂයෙන් කැපවූ දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනි පද්මිණී වික්‍රම ලතා සහ විමර්ශන නිලධාරී තරිඳු බණ්ඩාර යන මහත්ම මහත්මීන් විසින් එම කෘතිය දිසාපතිතුමන්ට පිළිගන්වන ලදී. මෙම කෘතිය ඉදිරියේදී පාසල් පුස්තකාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නොමිලයේ ලබාදීමට කටයුතු කෙරේ.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම අංශයන්හි නිලධාරීන් දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා තම ශ්‍රමය, කාලය කැප කරමින් වෙසෙස් උත්සාහයක් දරන ලදී.
මෙම උළෙලට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිත ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) දිනීශා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන්,ප්‍රාදේශීය ලේකම්වරුන්, විදුහල්පතිවරුන් ,කලාකරුවන්, සිසු සිසුවියන් දෙමව්පියන් ,රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




































