එළැඹෙන වසර පහ තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් හතළිස් එක් දහසක් බලගැන්වීමේ වැඩසටහනට අදාල ඒ ඒ ක්ෂේත්‍රයන්හි නිරත රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තුව නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවක් අද (27) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ව්‍යවසායකයින් හට තාක්ෂණික හා පුහුණු වැඩසටහන් ,ඉඩම්, බලපත්‍ර හා ණය පහසුකම් සැලසීම මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වෙළෙඳපොළ හඳුන්වාදීම යන අරමුණු ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන පිළිබඳ හදුන්වාදීම කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී.


මෙහිදී අදහස් දැක්වූ දිසාපතිතුමන් කියා සිටියේ සංවර්ධනය වෙමින් පවතින රට සංවර්ධිත දේශයක් බවට පත් කිරීමට ව්‍යවසායකයා බලගැන්වීම ප්‍රමුඛ කටයුත්තක් කර ගත යුතු බවයි .ඒ සඳහා ඔවුන්ට පහසුකම් සැලසීම සඳහා එම රේඛීය ආයතන සියල්ල ඒකාබද්ධ වීමේ අවශ්‍යතාවය දිසාපති තුමන් විසින් මෙහිදී නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.


ඒ අනුව උක්ත වැඩසටහන හරහා ඉදිරියේදී රාජ්‍ය නිලධාරින් පුහුණු කිරීමටත්, ව්‍යවසායකයින් බලගැන්වීමටත් අවශ්‍ය පියවර ගැනීමට නියමිත අතර වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය ඒ සඳහා පූර්ණ මැදිහත් වීම ලබාදීමට නියමිතයි.


එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීශා එස්. රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ පී.එල්.ඒ.රත්නමලල, පලාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී.සේනානායක යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.