සැබෑ දේශපාලන නිදහසක් භුක්ති විඳීම සඳහා ආර්ථික නිදහස වඩා වැදගත් බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්/දිසාපති ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතා කෑගල්ල දිස්ත්‍රික් නිදහස් දින උත්සවය අමතමින් සඳහන් කළේය. විශේෂයෙන් ආර්ථික වශයෙන් රට අභියෝග රැසකට මුහුණ දී ඇති කාල සීමාවක අසීරුතා මධ්‍යයේ වුව ද සියළුදෙනා විවිධ ක්ෂේත්‍රවල නියෝජනය කරමින් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කල යුතු බවත් එවිට වඩා අර්ථවත් දේශපාලන නිදහසක් මහජනතාවට හිමිවනු ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා නිදහස් දින උත්සව සභාව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය.
75 වන ජාතික නිදහස් දින සැමරුමේ කෑගල්ල දිස්ත්‍රික් නිදහස් උළෙල අභිමානවත් අයුරින් අද (04) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් දී පැවැත්විණි. තූර්යවාදක කණ්ඩායම් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි කෑගල්ල අභිනව දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතා ප්‍රමුඛ ආරාධිතයින් උත්සව පරිශ්‍රයට කැඳවා ගෙන පැමිණි අතර කෑගලු විද්‍යාලීය සිසුන් විසින් පැවැත්වූ මඟුල් බෙර වාදන මධ්‍යයයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ජාතික කොඩිය ඔසවනු ලැබීය. ඉන් අනතුරුව කෑගලු විද්‍යාලීය බටහිර තූර්යවාදක කණ්ඩායම විසින් ජාතික ගීය වාදනය කරනු ලැබූ අතර ජයමංගල ගාථා ගායනා කරනු ලැබුයේ කෑගල්ල ශාන්ත ජෝෂප් විද්‍යාලීය සිසුවියන් විසිනි.
සැබෑ නිදහස භුක්ති විඳීමට ඇති අභියෝග පිළිබඳ අවධාරණය කරමින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී.ජයසිංහ මහතා විසින් සභාව ඇමතීමෙන් අනතුරුව දිස්ත්‍රික් නර්තන සංචිතයේ සිසුවියන් විසින් දේශාභිමාන ගීතයකට විචිත්‍ර නර්තනයක් ඉදිරිපත් කොට නිදහස් දින සැමරුම් උළෙල වර්ණවත් කරනු ලැබීය. මෙවර නිදහස් දින උත්සවය වර්ණවත් කර ගැනීමට දායක වූ පාසල් සිසුන් ඇගයීම සඳහා සහතිකපත් බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි.
එමෙන්ම 75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සංරචක හතරක් ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වූ තරඟ සඳහා තෝරා ගත් ජයග්‍රහකයින්ට සහතික පත් බෙදා දීමක් මෙහිදී සිදුකෙරිණි. ඒ අනුව හොඳම ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු තේරීම, හොඳම ගෙවත්ත සහ හොඳම ශ්‍රමදාන වැඩසටහන ඇගයීම , හොඳම රුක් රෝපණ වැඩසටහන තෝරා ගැනීම යන අංශ සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරා ගත් ජයග්‍රාහකයින්ට සහතිකපත් බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණි.
දිස්ත්‍රික් සංස්කෘතික අංශය ප්‍රමුඛ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙවර කෑගලු දිස්ත්‍රික් නිදහස් දින සැමරුම සංවිධානය කෙරිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්.නිශාන්ත යන මහත්ම මහත්මීන් අතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩල නිලධාරීන් , නිදහස් දින සැමරුම සඳහා දායකත්වය සැපයූ පාසල්වල ආචාර්යවරුන්, සිසු දරු දැරියන් ,දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



































