×

පණිවුඩය

Invalid Page Request
විශිෂ්ට නර්තන සම්ප්‍රදායන් උරුම ශ්‍රී ලාංකේය නර්තන ශිල්පය යනු අප රට ජාත්‍යන්තරය තුල නොමැකෙන සළකුණක් තබා ඇති කලා සන්නාමයකි. එය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා උඩරට, පහතර හා සබරගමු ඇතුලු නර්තන සම්ප්‍රදායන් සේම කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරළයටම ආවේණික නර්තන සම්ප්‍රදායන් රැක ගැනීමත්, ප්‍රචලිත කිරිමත් කාලීන අවශ්‍යතාවයක්ව පවතින යුගයක සමස්ත දිස්ත්‍රිකයම ආවරණය වන පරිදි දිස්ත්‍රික් යෞවන නර්තන සංච්තයක් ස්ථාපිත කළ අතර එහි පුහුණුවීම් කටයුතු මාර්තු 04 වන දින තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දි ආරම්භ කිරීමට කටයුතු කෙරේ. ඒ පිළිබඳ විශේෂ හමුවක් අද (17) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
එම අවස්ථාවට එක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය ප්‍රකාශ කළේ ඒ ඒ සමාජ කොට්ඨාසවල , සංස්කෘතීන්වල අනන්‍යතාවයන් පෙන්වන කලාංග ආරක්ෂා කිරිම ඉතා වැදගත් වන බව යි. රට තුල පවතින මෙවන් අභියෝගාත්මක අවස්ථාවක දිස්ත්‍රික් නර්තන සංචිතය වෙනුවෙන් කැප වන සියලු දෙනාට තම ස්තූතිය ලබා දෙන බවත් ඒ මහත්මිය එහිදී වැඩිදුරටත් කියා සිටියා ය.
ඒ අනුව ඉදිරියේ දි දිස්ත්‍රික්කයේ පවත්වන සියලු විශේෂ අවස්ථාවන් සඳහා නර්තනයෙන් දායකත්වය ලබා දීම , පින්නවල ඇතුලු දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ශනීය ස්ථාන ආශ්‍රිතව නර්තන ප්‍රසංග පැවැත්විම,තුන් අවුරුදු පාඨමාලක් ලෙස මෙම පුහුණුවිම පවත්වා අවසානයේ ජාත්‍යන්තරව පිළිගත් සහතිකයන් ලබා දිම, නර්තන ප්‍රසංගයන් ඔස්සේ නර්තන අරමුලක් ඇති කිරීම ඇතුලු කරුණු රැසක් සපුරා ගැනීමට අපේක්ෂිතයි.
සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් මෙම යෞවන නර්තන සංචිතයේ සිසු සිසුවියන්ට නර්තන උපදේශකත්වය සඳහා ප්‍රවීණ නර්තන ශිල්පීන්ගේ සම්පත් දායකත්වය ලබා දීමට කටයුතු කෙරේ.
දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබේ.
එම අවස්ථාවට දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී පද්මිණි වික්‍රමලතා, කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරීනී හේමමාලා හීන්කුමාරි, විමර්ශන නිලධාරී තරිඳු බංඩාර, දිස්ත්‍රික් නර්තන සංචිතයේ ප්‍රධාන උපදේශක, ජේෂ්ඨ කථිකාචාර්ය සුනිල් බංඩාර,ප්‍රවීණ රාජ්‍ය නර්තන ශිල්පී උපුල් බංඩාර යන මහත්ම මහත්මීන් ,සංස්කෘතික අංශයේ නිලධාරීන්, නර්තන සංචිතයට තේරි පත් වූ සිසු සිසුවියන්, දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටි ය හ.