ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත සමස්ත දිවයින පුරාම සිටින වැඩිහිටි ප්‍රජාවගේ සුව සෙත පිණිස ක්‍රියාත්මක ජංගම වැඩිහිටි වෛද්‍ය සායනයෙහි පළමු නියමු ව්‍යාපෘතිය පසුගිය 19 වන දින දවස පුරා කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල මාලිබොඩ මංගල කණිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව නිමාවට පත්විය.

එහිදී බෝ නොවන රෝග ඇතුළු නිදන් ගත රෝග සදහා ප්‍රතිකාර කිරීම, රෝගී පරීක්ෂාව හා ඖෂධ ලබා දීමට පහසුකම් සලසා තිබිණි.


තවද දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ජංගම දන්ත සායනයක් හා රසායනාගාර පහසුකම් ලබාදීමට ද කටයුතු කර තිබිණි .


මෙහිදී වැඩිහිටියන් සඳහා අක්ෂි පරීක්ෂාවන් සිදු කල අතර ඇස් කන්නාඩි, අක්ෂි කාච ,ශ්‍රවණාධාර ලබාදීමට ද ඉදිරියේ දී කටයුතු කෙරේ.


දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිළධාරිනී ඩිලානි කුමාරි මහත්මිය සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිතුමන් ඇතුළු සමාජ සේවා අංශයේ කාර්ය මණ්ඩලය මෙම කටයුත්ත සංවිධානය කර තිබුණි.


මෙම අවස්ථාවට වැඩිහිටි මහලේකම් කාර්යාලය අධ්‍යක්ෂ කේ. ජී. ලැනරෝල් මහතා, දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් ,වැඩිහිටියන් තුන්සියයකට අධික පිරිසක් එක්ව සිටියහ .