පරිපාලන සේවයේ හසල අත්දැකීම් ඇති නිලධාරියෙක් වූ ගම්ලත්ගේ දිලිප් නිශාන්ත මහතා අද (08) පෙරවරුවේ කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා (ඉඩම් හා සංවර්ධන ) ලෙස වැඩ බාර ගත්තේය.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිය හදාරා ඇති ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද ලබා ඇති අතර නව තනතුර බාර ගන්නා තෙක් පුත්තලමේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.

2006 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇති ගම්ලත්ගේ දිලිප් නිශාන්ත මහතා 2007 වසරේ මැතිවරණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධව වසර 16 කට අධික සේවා කාලයක් සපුරා ඇති අතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස කෑගල්ල, බදුල්ල, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක කිහිපයක කටයුතු කොට ඇත

එමෙන්ම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා (පාලන) ලෙස ද ඒ මහතා තනතුරු දරා තිබේ.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මිය සහභාගී වූහ.