දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්රයට අයත් සියළු රාජ්‍ය ආයතනවලින් සිදුකෙරෙන කාර්යභාරයන්හි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට සහය වෙමින් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය නගා සිටුවීම බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා සදහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ පැවති කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට සහභාගී වෙමිනි.
මෙවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී ක්ෂේත්‍ර කිහිපයක් යටතේ සාකච්ඡා සිදු කෙරුණ අතර කෘෂි කමිටුවට අයත් රාජ්‍ය ආයතන මට්ටමින් ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට භාජනය කෙරිණි.
ඒ අනුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ නිෂ්පාදන සෘජුව අලෙවි කළ හැකි අලෙවි මධ්‍යස්ථානයක් වාගොල්ල කෘෂිකර්ම පරිශ්‍රයේදී ඉදිරියේ දී විවෘත කිරීමට කටයුතු කරන බව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය අධ්යක්ෂ ආර්.පී.එන්.එල් රාජපක්ෂ මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන් අතරමැදියන්ගේ මැදිහත්වීමෙන් තොරව දිස්ත්‍රික්කයේ ගොවීන්ට සිය නිෂ්පාදන අලෙවි කිරීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත. එමෙන්ම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බීජ වී නිෂ්පාදන වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව ද ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන අධිකාරිය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ජාතික පොහොර ලේකම් කාර්යාලය ආදී රාජ්‍ය ආයතන රැසක් සිය ප්‍රගතිය මෙහි දී ඉදිරිපත් කළහ.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලිප් නිශාන්ත, කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවල නියේජිතයින් සහභාගී වූහ.























