කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික හා ලංගම බස් රථ ධාවනයේ දි පවතින ගැටලු පිළිබඳ අදාළ පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිනි , පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වෙයෙන් අද (20) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

ඒ අනුව දැනට ධාවනය වන පෞද්ගලික හා ලංගම බස්රථ නියමිත කාල සටහනකට අනුව ගමන් කිරීම, පවතින කාල සටහන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව, බස් ගාස්තු අය කිරිම් සම්බන්ධව පවතින අක්‍රමිකතා ඇතුලු කරුණු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.

විශේෂයෙන් ගැටලු වඩාත් උග්‍රව පවතින බස් මාර්ගයන්හි නියමිත වේලාවන්ට බස් රථ ගමන් කිරිම, කාල සටහන්වලට නියමිත බස් රථ ධාවනය කිරිමට අදාළ අවස්ථාවන්හි දි බස රථ නොමැති විට පෞද්ගලික හා ලංගම බස් රථ ඒ සඳහා පහසු පිළිවෙතක් අනුගමන කිරිම, කාල සටහන්වලට අනුව බස් රථ ධාවනය වන්නේ ද යන්න සොයා බැලීමට කාර්ය මණ්ඩලය යෙදවිමට ඒ අනුව මෙහි දි අදාළ පාර්ශවයන් එඟකතාවයකට එළඹිණි.

ඊට අමතරව බස් රථ රියදුරන් හා කොන්දොස්තර මහතුන් සඳහා සේවක අභිප්‍රේරණ වැඩසහන් ඉදිරියේ දී පැවැත්වීමටත්, සුවපහසු , විධිමත් හා කාර්යක්ෂම සේවයක් මගී ජනතාවට ලබා දිමට අවශ්‍ය සෑම අවස්ථාවකදිම පොලීසිය සහයෝගය ලබා දිමටත් කටයුතු කෙරේ.

දිස්ත්‍රික් සැලසුම් අංශය මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට දිසාපති/දිසත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලිප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන් යන මහත්වරුන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරුන්, පෞද්ගලික හා ලංගම බස්රථ අධිකාරීවරුන් හා එම කාර්ය මණ්ඩල නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.