කෑගල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ සම්බන්ධීකරණ යාන්ත්‍රනයක් සැකසීමේ අරමුණින් දිස්ත්‍රික් කර්මාන්ත සම්බන්ධීකරණ කමිටුව පිහිටුවීම අද (21) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

 

ඒ අනුව කර්මාන්ත අංශය සඳහා සේවා සපයන ආයතන සමඟ සහසම්බන්ධ වී දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම, කර්මාන්ත සංවර්ධන සැලැස්ම සකස් කිරීම ,කර්මාන්ත සංවර්ධනයේදී සෘජු හා වක්‍රව සම්බන්ධ වන ආයතන අතර මනා සන්නිවේදනයක් ඇති කර ගැනීම, පවතින කර්මාන්ත හා නව කර්මාන්ත සම්බන්ධ විසදාගත නොහැකි ගැටලු තත්ත්වයන් ප්‍රතිපත්ති සම්පාදනය වෙත යොමු කිරීම ඇතුළු අරමුණු රැසක් ඉටුකර ගැනීමට මෙම සම්බන්ධීකරණ කමිටුව හරහා අපේක්ෂා කෙරේ.

මෙම හමුවේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ව්‍යුහය හා කාර්යභාරය පිළිබඳ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජේ සේනානායක මහතා විසින් පැහැදිලි කළ අතර කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂතුමා ,කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපතිතුමන් හා ජනතා සංවර්ධන පදනමේ අධ්‍යක්ෂතුමාන් අදහස් දැක් වූ අතර පැමිණ සිටින දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් විසින් ගැටලු ,අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදී.


ඒ අනුව සෑම දෙමසකට වරක් මෙම කමිටුව රැස්වී කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් ගනු ලබන තීන්දු, තීරණ හා එහි ප්‍රගතීන් පිළිබඳ විමසා බැලීමට නියමිතයි.

මෙම වැඩසටහනට සමගාමීව "අලුත් ගමක් - අලුත් රටක්" ජාතික වැඩසටහන හා "සෞභාග්‍යයා"ජාතික වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය පිළිබඳව පැමිණ සිටින නිලධාරීන් දැනුවත් කරන ලදී.

දිස්ත්‍රික් සැලසුම් අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා මූල්‍ය ආයතන ප්‍රධානීන්, කර්මාන්ත සංගමයේ නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.