දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ මානසික සුවතාවය ඇති කරමින් උදා වූ නව වසරේ දේශීය සංස්කෘතියට මුල්තැන දෙමින් දිස්ත්රික් සංස්කෘතික අංශයේ සදෙස කවයේ සංවිධානයෙන් සහ අනෙකුත් සියලුම තත්ත්ව කවවල මූලිකත්වයෙන් පැවැත්වූ "සූර්යාංජලී " බක්මහ උළෙල ඊයේ (20) කෑගල්ල පොලිස් ක්රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය.
අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීම ගෝනි රේස්, මීටර් 50 කෙටි දුර ධාවන, ටොෆි ඇහිඳීම, කඹ ඇදීම, බනිස් කෑම, පොල් ගෑම, හොඳ හැඬීම,හොඳම හිනාව, සිඟිති අවුරුදු කුමරා කුමරිය, වැඩිහිටි අවුරුදු කුමරිය , කඩවසම් අවුරුදු කුමරා තේරීම ඇතුළු ජන ක්රීඩා රැසකින් මෙම උළෙල සමන්විත වූ අතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නර්තන කණ්ඩායම්වල විචිත්රවත් නර්තනාංග වලින්ද සූර්යාංජලී බක්මහ උළෙල වර්ණවත් විය.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්රික් ලේකම් රන්ජන් ජයසිංහ, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක, අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන්, සහකාර පොලිස් අධිකාරිතුමන් ,දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුනගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




































