කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය කරමින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් "දෙටුවර අභිමන්" දිස්ත්‍රික් වැඩිහිටි අවුරුදු උළෙල අප්‍රේල් 28 වන දින දවස පුරා කෑගල්ල පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

 

සිංහල සංස්කෘතික හරයන් රැසක් විදහා දක්වමින් කිරි ඉතිරිවීම, නෑගම් යාම, රබන් ගැසීම ඇතුළු හෙළ චාරිත්‍ර රැසකට මුල් තැන දෙමින් ආරම්භ කෙරුණු මෙම අවුරුදු උළෙලේ දී කණා මුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම, රබන් ගැසීම, හොඳම හිනාව, හොඳම හැඬීම , බෝතලයට වතුර පිරවීම, පොල්,ගෑම, වැඩිහිටි අවුරුදු කුමරා කුමරිය තේරීම ඇතුළු ජන ක්‍රීඩා රැසකින් සමන්විත වී තිබුණි.

එමෙන්ම සියලුම ප්‍රාදේශීය බල මණ්ඩල නියෝජනය වන පරිදි වැඩිහිටි නර්තන ශිල්පිනියන්ගේ අලංකාර නර්තනාංග මෙම අලුත් අවුරුදු උලෙළ පුරාවටම අපූර්වත්වයක් එක් කර තිබිණි.

දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිළධාරිනි ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු දිස්ත්‍රික් වැඩිහිටි අංශය හා දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය එක්ව මෙම වැඩිහිටි අවුරුදු උළෙල සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන්,  ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.