මිනිසා සොබා දහම වෙතට වඩාත් සමීප වීම යනු ජීවිතය පහසු කරගැනීම වෙනුවෙන් අතිරේක කවුළුවක් විවෘත කිරීමකැයි ඕෂෝ සඳහන් කර තිබේ. සොබා දහම ඔබව සැහැල්ලු කරයි. ඔබව පහසුවෙන් තබන අතර ජීවිතයට සතුට ලගා කරවයි. එහි මහගු සෞන්දර්ය අත්පත් කර ගැනීමට නම් ඔබ සංචරණයට ප්‍රිය විය යුතුය. ඔබ ඒ වෙනුවෙන් තබන දිගු පියසටහන් සේම කෙටි පියසටහන් ද එක සේ වටින්නේය. මේ සොබා දහමේ ගීතයට සවන් දීම පිණිස අප තැබු කෙටි පියසටහනක ආවර්ජනයයි.
දෑස් පිනවන හරිත වර්ණයෙන් හාත්පස ආලෝක වන උඩරට දුම්රිය මගේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් මේ සිහින් සුන්දර දිය ඇලි සුකොමළිය මුණ ගැසේ. මීයන් ඇල්ල යැයි නම් දරන මෙය ලාංකේය දිය ඇලි නාමාවලියට අයත් නොවූවද සුන්දරත්වයෙන් අනූන දිය දහරකි. අලගල්ල කදු මුදුනේ සිට පහතට ඇද හැලෙන මීයන් ඇල්ල මීට ශතවර්ෂ එක හමාරකට පමණ පෙරාතුව මහත් ජල කඳින් පොහොසත්ව සිටියදී උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී සිය සුන්දරත්වය ඊට පූජා කළාය.
වැසි කාලයේ මහ ජලකදින් දුම්රිය ගමනාගමනයට නිරන්තර බාධා පැමිණුනෙන් මීයන් ඇල්ලේ පිහිටීම වෙනස් කළ යුතුය යන ඉංජිනේරු තීරණය හේතුවෙන් මීයන් ඇල්ලේ වර්තමාන ඉරණම තීන්දු කෙරිණි. එතෙක් තනි ඇල්ලක් ලෙස පහලට කඩා හැලුණු මීයන් ඇල්ල ඉහළ කෙළවරින් බැමි බැඳ අලගල්ල කන්දේ දික් අතට සිදු කළ ගැඹුරු කැපුමක් ඔස්සේ සිහින් දිය ඇලි දෙකක්ව දෙපසකට කඩා හැලෙමින් සිය වේදනාව සගවා ගන්නට ඇයට සිදුවන්නීය.
අතීතයේ සත් කෝරළය සහ සතර කොරළය බෙදා වෙන් කළ එක් මායිමක් ලෙස මීයන් ඇල්ල වැදගත් වූ ආකාරය පැරණි කඩඉම් කවියක සඳහන් වන්නේ මෙලෙසිනි.
මීයන් ඇල්ල බලනේ කඩවත් ඇතුළේ
කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිටින් ලගමුව ද පසු කළේ
මේ ලකුණුවලට මැදි රට හතර කෝරළේ
ජනප්‍රවාදයකට අනුව වරක් මීන්ගල්ල දුර්ගය හරහා ඉදි කළ දුම්රිය මාර්ගයේ ගමන් කළ සහල් පැට වූ ගැල්වලින් සමන්විත ව තිබූ බඩු දුම්රියක් අඩි 1000 ක ප්‍රපාතයට පෙරළී ගොස් අලගල්ල කඳු පාමුල සහල් ගෝනි විසිර තිබේ. මෙම අනතුර කන වැකුණු අවට ප්‍රදේශවල පදිංචි ජනයා අපද්‍රව්‍ය සමඟ මිශ්‍ර වී තිබුණු සහල් සෝදා ගරා ප්‍රයෝජයට ගත් බව ජනප්රවාදයේ සඳහන් වෙයි. මේ කාලයේ දී තමන්ගේ වැඩිහිටි මිත්තණියන්ට සහයෝගය දීම සදහා “ආච්චිලාට හාල් ගරලා දෙන්න යනවා”යැයි කියමින් මිණිබිරියන් ද පැමිණ ඇති අතර කලක් ගත වන විට එය පිරුළක්ව පිරුළ ජනවහරට එකතු වූ බවට මතයක් ද පවති.
මීයන්ඇල්ල දේශීය සංචාරකයන් අතර ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ඉතා මෑතකදී ය. විශේෂයෙන්ම මීයන් ඇල්ලේ නෙත පිනවන සොඳුරු සේයා රූ සහ කුඩා වීඩියෝ පට සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරණය වීමත් සමඟ මීයන් ඇල්ල සංචාරක ආශක්ත ස්ථානයක් බවට පත්ව තිබේ. මෙම බිංගෙය නිර්මාණය කිරීමේ දී ගල් සහ පස් ඇතුළු ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා අලගල්ල පර්වතයේ එක බෑවුමකට වන්නට කුඩා උමඟක් සහිත කුහරයක් ඉදිකර තිබේ. මෙම කුහරය දෙකට බෙදූ මීයන් ඇල්ලේ එක කොටසක් කඩා ගෙන වැටෙන හරස් කැපුමට විවෘත වන ලෙස පිහිටා ඇත්තේය . එනිසා මෙහි දී ඉතා සුන්දර ඡායාරූප ලබාගැනීමේ හැකියාවක් ද පවතී. වලගොඩ, තලගොල්ල වැනි හරිත වර්ණ පොරවාගෙන සිටින ගම්වල අසිරිය ඔබට මෙහි දී නැරඹිය හැකියි.
කෙසේ නමුත් මෙය තරමක් අනතුරුදායක ස්ථානයක් හෙයින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේ දී මෙන් ම එම කුහරය තුළ රැදී සිටීමේදී ද ආරක්ෂාකාරී වීමෙන් ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වයන් වලක්වා ගැනීමට හැකි වන්නේය.
නුදුරේ දිනෙක මේ සුන්දර දිය කොමලියේ දසුන් මුසු වීඩියෝවකින් අපි ඔබව මුන ගැසේවි.
සටහන - දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - කෑගල්ල
පහත ඡායාරූපවල අයිතිය එහි මුල් අයිතිකරුවන් සතුය.




















