කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (19) පෙරවරුවේ රැස්විය.

දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය යටතේ වී ඔය බහුකාර්ය ජලාශ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් ආරම්භ කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළව කරුණු ගණනාවක් සාකච්ඡාවට ගැණිනි.

ඒ අනුව ‘අළුත් ගමක් - අළුත් රටක්‘ වැඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන, ආහාර සුරක්ෂිතතා වැඩසටහන, USAID Partner වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වැඩසටහන් වල ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සහ පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කළ අතර මේ වන විට දිස්ත්‍රික්කයේ ඩෙංගු පැතිරීම වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන විසින් සිදු කෙරෙන මැදිහත්වීම මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ විශේෂ අවධානයට ලක් කෙරිණි.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, අධ්‍යාපන, ජලසම්පාදන කටයුතු, විදුලි සැපයුම්, මාර්ග නඩත්තුව හා පිළිසකර කිරීම් සහ සීමානීර්ණ කමිටුවේ අනුමත යෝජනා සහ වෙනස්කම් ආදි ක්ෂේත්‍රයන් රැසක් පිළිබඳව ද සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡා විය.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති රාජිකා වික්‍රමසිංහ, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය සහ සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ යන මහත්වරුන් සහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, පළාත් සභා රාජ්‍ය ප්‍රධානීන්, ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ නියොජනය කළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.