කෑගල්ල අරණායක ‘අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය’ ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (20) පස්වරුවේ දී සිදු කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ග්‍රාම නිලධාරී වසම් 135 ක පැවති පානීය ජල ගැටළුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රු.මි 3,847 ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රු.මි 18,650 ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිණි.
 
අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ දී ආරම්භ කෙරුණ අතර ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ මඟපෙන්වීමෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරිණි.

දිනකට ඝන මීටර 21,000 ක ධාරිතාවයකින් යුත් ජල පිරිපහදුවක්, සේවා ජලාශ 07 ක්, කි.මී 37 ක සම්ප්‍රේෂණ නල පද්ධතියක් සහ කි.මී 120 ක බෙදාහැරීමේ නල පද්ධතියක් මේ යටතේ ඉදිකර ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ පවුල් 52,300 ක් ආවරණය වන පරිදි 169,000 ක පමණ ජනතාවකට පිරිසිදු සහ සුරක්ෂිත පානීය නල ජල පහසුකම් හිමිවන අතර ඒ යටතේ නව ජල සබඳතා 25,200 ක් ලබා දීම සහ පවතින ජල සබඳතා 27,100 වැඩි දියුණු කිරීමට ද නියමිතය.

මේ අවස්ථාව සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,තාක්ෂණ සහ පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රාජිකා වික්‍රමසිංහ, සුජිත් සංජය පෙරේරා, උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය , ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝබැක් සහ තුර්කි තනාපතිනිය ඩෙමෙට් සර්කෂුලි යන මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.