ජන හා නිවාස සංගණනය -2024 (ලැයිස්තුගත කිරීමේ අදියර)අදාළව සංගණන කොමසාරිස් සහ නියෝජ්‍ය සංගණන කොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රටේ ඇති වූ වසංගත උවදුර හා ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජන හා නිවාස සංගණනය 2024 වසරේ පැවැත්වීමට තීරණය කර ඇත .ඒ අනුව මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිතියම් ගත ගත කිරීමේ පළමු අදියර අවසන් ව පවතින අතර සංගණන කාණ්ඩ වශයෙන් වෙන් කරගනිමින් සියලුම නිවාස හා ගොඩනැගිලි ගණනය කිරීමේ දෙවන අදියරේ කටයුතු මේ වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.එහිදී සැලකිල්ලට ගතයුතු කරුණු පිළිබඳව අදාල නිලධාරීන් දැනුවත් කිරීම අද දින සිදුවිය.

නිල බලයෙන් දිසාපතිතුමන් සංගණන කොමසාරිස්වරයා වශයෙන් පත්වන අතර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් , ප්‍රාදේශීය ලේකම්වරුන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් නියෝජ්‍ය සංගණන කොමසාරිස්වරුන්, සහකාර සංගණන කොමසාරිස්වරුන් ලෙස කටයුතු කෙරේ. එම නිලයන්ට අදාළ පවතින කාර්යභාරය පිළිබඳ පැහැදිලි කිරීම කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනි, ජේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ පුෂ්පා ගුණසේකර මහත්මිය විසින් සිදු කරන ලදී.

තවද ජන හා නිවාස සංගණනයට අදාළ දත්ත හා තොරතුරු මෙවර සෘජුවම පරිගණකගත කිරීම සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය ටැබ්ලට් පරිගණක සංකේතාත්මකව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි එම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදීම ද මෙම අවස්ථාවට සමගාමීව සිදු විය.

දිවයිනේ ප්‍රථම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිතියම කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළව සම්පූර්ණ කරමින් ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පර්යේෂණ) වාසනා ජයසේකර මහත්මිය විසින් කෑගල්ල දිසාපතිතුමන් වෙත පිරිනැමීමටද මෙහිදී කටයුතු කෙරිණි.

මෙම ලැයිස්තුගත කිරීමේ අදියර සති අටක පමණ කාලයකින් අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර අද පැවති දැනුවත් කිරීමේ වැඩසටහන දිස්ත්‍රික් සංඛ්‍යා ලේඛන අංශය විසින් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ජේෂ්ඨ සංඛ්‍යාලේඛන ජානක රාජපක්ෂ මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.