මිනිස් වෙළදාම පිටු දැකිමේ අරමුණ පෙරදැරිව දිස්ත්‍රික් සංසදය පිහිටුවීම අද (31) පෙරවරුවේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

වංචනික පුද්ගලයින් තමන්ට ආදයම් උපදවා ගැනීමට හෝ වෙනත් ප්‍රතිලාභයක් ලබා ගැනීමේ අරමුණෙන් යොදනු ලබන ප්‍රෝඩාවන්ට අසුවීමෙන් , රැවටීමට ලක්වීමෙන් , අනාරක්ෂිත සහ අහිංසක පුද්ගලයින් සුරා කැමට ලක්වීම තුළින් මිනිස් වෙළදාමට ලක් වේ.

බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම, ලිංගික සුරාකෑම, අවයව ඉවත් කිරිම, ගෘහස්ථ දාසභාවය හා වහල්භාවය යන අංශයන් ඔස්සේ සුරාකෑමට ලක්විම අවම කර ගැනීම මෙම සංසදය පිහිටුවීමේ අරමුණ බව පරිසර සහ ළමා අයිතිවාසිකමි සුරැකිමේ සංවිධානයේ ව්‍යාපෘති කළමණාකාර චමින්ද පද්මකුමාර මහතා අදහස් දක්වමින් පැවසීය. 

හිංසනයන්ට ලක් වන ප්‍රජාව හා නිරන්තරව කටයුතු කරන සමාජසේවා , වනිතා සංවර්ධන ,වතු සංවර්ධන , විදේශ කටයුතු , තරුණසේවා , වෘත්තීය පුහුණු යන අංශයන්හි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ සේවයේ නියුතු නිලධාරීන්ගේ අදහස් හා යෝජනා මෙහිදි ඉදිරිපත් වු අතර එම අදහස් සංසදයේ ඉදිරි කටයුතු සදහා යොදා ගැනීමේ වැදගත් කම මෙහිදි සාකච්ඡාවට ලක් විය.

මෙම වැඩ සටහන රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකාරක නිශාන්ත ප්‍රේමතිතක මහතාගේ මැදිහත්වීම මත පරිසර සහ ළමා අයිතිවාසිකමි සුරැකිමේ සංවිධානය මගින් සංවිධානය කෙරිණි.