දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ දොළොස්මහේ පහන වැඩසටහන් මාලාව යටතේ මේ වසරේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි වැඩසටහන් පිලිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩල හා දිස්ත්‍රික් කවි සමාජ අනුකමිටු එක්ව ඊයේ (22) පස්වරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
"අලුත් ගමක් - අලුත් රටක්" ජාතික වැඩසටහනට සමගාමීව සංස්කෘතික සහභාගිත්ව සංවර්ධන වැඩසටහන යටතේ ජනතාවගේ ශාරීරික, මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීම ප්‍රධාන අරමුණ කරගනිමින් ආගමික හා පුරාවිද්‍යා ස්ථාන, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩල හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල, සංස්කෘතික මධ්‍යස්ථාන, කලායතන, පාසල් ළමා සමාජ ,ග්‍රාමීය සමාජ, ස්වෙච්ඡා කණ්ඩායම් එක් කරගනිමින් නාට්‍ය ,නර්තන, සංගීත, ලේඛන හා වෙනත් කලා ඉසව් ඉලක්ක කරගනිමින් පවතින අනු කමිටු හරහා සිදු විය යුතු වැඩසටහන් රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම හමුවේ දී විරිඳු කලාව ප්‍රචලිත කිරීම, දිස්ත්‍රික්කයේ පවතින සංස්කෘතික විශේෂාංග වල දී කලාකරුවන්ගේ දායකත්වය තවදුරටත් සක්‍රියව ලබා ගැනීම, පාසල් දරුවන් හා තරුණ ප්‍රජාව නාට්‍ය කලාවට යොමු කිරීම ,දහම් අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව ඇතුළු අදහස් රැසක් පිළිබඳව ද යෝජනා ඉස්මතු විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් කවි සමාජයේ ප්‍රධාන අනුශාසක වල්පොල රතනජෝති ස්වාමීන් වහන්සේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක ,දිස්ත්‍රික් සංස්කෘතික නිළධාරිනී පද්මිණී වික්‍රමලතා, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය ලේකම් සුනිල් ගම්ලත් යන මහත්ම මහත්මින්, දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ නිලධාරීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






















