මෙම වසරේ දෙවන කාර්තුවට අදාල දිස්ත්‍රික්කයේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ සුබසාධනය හා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිලිබද විමසා බැලෙන දිස්ත්‍රික් ළමා හා කාන්තා කමිටුව අද (23) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී රැස් විය.

ඒ අනුව පෝෂණය සෞඛ්‍ය හා මානසික සංවර්ධනය, මත්ද්‍රව්‍ය නිවාරණය, ලමා අපචාර, අධ්‍යාපනය, භාරය, ආරක්ෂාව හා ආයතනගත ළමුන් සමාජගත කිරීම, වීදි දරුවන්, ළමා ශ්‍රමය තුරන් කිරීම හා වෙනත් ආයතනික වැඩසටහන් මෙන්ම කොට්ඨාශ මට්ටමින් පවතින ප්‍රාදේශීය ගැටළු ඇතුළු අංශ ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණි.

නිවස තුළදීම මෙන්ම සමීපතම හෝ ළඟම ඥාතීන් අතින් ළමා අපයෝජනය බහුලව සිදුවන බව දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම වයස අවුරුදු 12 - 16 ත් අතර ළමුන් අපයෝජනය වීමේ වැඩි අවදානමක් පවතින බව මෙහිදී ප්‍රකාශ විය.

මේ හේතුවෙන් පාසල් මට්ටමින් සිසු දරු දැරියන් හා ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම තවදුරටත් සක්‍රීය විය යුතු අතර ඒ සඳහා නීතිය, පොලිස්, සෞඛ්‍ය, උපදේශන ඇතුළු අංශ ආවරණය වන පරිදි දැනුවත් කිරීම සිදු විය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ප්‍රාදේශි ලේකම් කොට්ඨාසවල වැඩිම අවදානම් සහගත පවුල් හඳුනා ගනිමින් පරිවාස නිලධාරීන්, ළමා හා කාන්තා නිලධාරීන් එක්ව එම නිවෙස්වලටම ගොස් අධීක්ෂණය කිරීම සිදුවන බවත් ළමුන් හා කාන්තාවන් හිංසනයෙන් හා අපයෝජනයෙන් මුදවා ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය විය යුතු බවත් මෙම හමුවේදී වැඩිදුරටත් කරුණු සාකච්ඡා කෙරිණි.

එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( පාලන) දිනීෂා එස්. රත්නායක , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී. කුසුම්සිරි, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන් යන මහත්ම මහත්මීන්, පොලිස්, පරිවාස, අධ්‍යාපන, පූර්වළමාවිය ,සමාජ සේවා, කම්කරු, උපදේශන, විදේශ රැකියා, රාජ්‍ය නොවන ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.