යූලීඩ් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ කෑගලු අභිමන් -2023 දෙස් විදෙස් රැකියා පොල සමගින් වෘත්තීය පුහුණු අත්වැල අද (08)කෑගලු බාලිකා විද්‍යාලයේදී තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව නිමාවට පත්විය .

ප්‍රදර්ශන කුටි එකසිය පනහකට වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත වූ මෙම රැකියා පොළ තුළින් වෘත්තීය පුහුණුව , වෘත්තීය මාර්ගෝපදේශනය, දෙස් විදෙස් රැකියා අවස්ථා, මූල්‍ය ආයතන සේවා පහසුකම්, කාර්මික හා කෘෂිකාර්මික අංශයන්හි ස්වයං රැකියා අවස්ථා ඇතුළු සේවාවන් හා පහසුකම් රැසක් ලබාදීමට කටයුතු කර තිබිණි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ හා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමෙ අධිකාරිය මගින් පාඨමාලා හදාරා අවසන් කළ සිසු සිසුවියන්ට NVQ සහතිකපත් ප්‍රදානය කිරීමක්ද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි .

අද දිනයේ දී කෑගලු අභිමන් වැඩසටහන සදහා ලියාපදිංචි වූ සියලුම තරුණ තරුණියන්ගේ වෘත්තීය පුහුණු සහ රැකියා අපේක්ෂාවන් සැබෑ වන තෙක් නිරන්තර ඔවුන් පිලිබද පසු විපරම් සිදු කිරීමටද මෙම වැඩසටහනට සමගාමීව ඉදිරියේ දී සිදු කෙරේ.

මෙම අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ,දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටු සම සභාපතිනී රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයන්,සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය ,කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ යන මහත්වරුන්,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්,විවිධ ආයතන හා අමාත්‍යංශයන්හි සභාපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන් ,ප්‍රාදේශීය ලේකම්වරුන් ,විවිධ ආයතනවලට අයත් රාජ්‍ය නිලධාරීන් ,තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.