කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබද විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සබරගමු පළාත් ආණ්ඩුකාර,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නවීන් දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රිනි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

මෙහිදී සාකච්ඡා කළ කරුණු අතර පහල කඩුගන්නාවේ ආපදාවට පත් ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු, බැහැනැල්ල සායන මධ්‍යස්ථානය සේවා පියසක් බවට පත් කිරිම , වන සතුන්ගෙන් වගාවන්ට වන හානි අවම කිරිම, ගලිගමුව, කෑගල්ල, රුවන්වැල්ල,වරකාපොල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක පුහුණු මධ්‍යස්ථන ඇති කිරිම, බහුකාර්ය සංවර්ධන සහායකයින් සදහා පත්වීම් ලබා දීම ආශ්‍රිත ගැටලු ඇතුලු කරුණු රැසක් විය.

මෙම හමුවේ දී අනාවරණය වු කරුණු අතර 2023/2024 සඳහා කුඹුරු හෙක්ටයාර් 7575ක් වගා කිරිමට අපේක්ෂිත බව කියැවිණි. තව ද වගා හානි අවම කිරිමේ අරමුණ සඳහා ගිනි අවි මේ වන විට 971ක් නිතුක් කර ඇති අතර සියලුම ගිනි අවි 1120ක් පමණ මේ වන විට නිකුත් කර ඇත. පතරොම් ලබා දිම මේ වන විට ප්‍රමාදව පවතින අතර පෞද්ගලික ආයතන හරහා පතරොම් ලබා දිම කඩිනම් කිරීමට ඉදිරියේ දි කටයුතු කෙරේ.

දිස්ත්‍රික්කය තුල අනාරක්ෂිත හා අවධානම් සහිත දරුවන් ආරක්ෂා කිරීම සදහා අපේක්ෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයේ ව්‍යාපෘතිය පිළිබඳ මෙහි දි පැහැදිලි කල අතර 2022 වසරේ 9723ක් ද 2023 වසරේ මේ වන විට 5315ක් ද ළමා අපචාර වාර්තා වි ඇත.එමෙන්ම අනාරක්ෂිත දරුවන් 302ක් පිළිබඳව මේ වන විට වාර්තා වි ඇති බව ද වැඩි දුරටත් අනාවරණය කෙරිණි. මෙම හමුවේ දී ආහාර සුරක්ෂිතතා වැඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන හා සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන, අලුත් ගමක්- අලුත් රටක් ඇතුලු සංවර්ධන වැඩසටහන් රැසක් පිළිබද ප්‍රගතිය ඉදිරිපත් විය. එමෙන්ම සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රජාවගේ සෘජු සහභාගීත්වය ඇතිව අරණායක වලගම ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පළමු ජනසභාව පිහිටු වීමට සැලසුම් කර ඇති බව මෙහි දි කියැවිණි.
මිලියන 05 ක ප්‍රතිපාදන යටතේ දිස්ත්‍රික්කයේ එළුවන් 192ක් බෙදා දිමට කටයුතු කරන අතර WASSIP ව්‍යාපෘතිය යටතේ මේ වන විට වැසිකිළි තුන්දහසකට වඩා වැසි ප්‍රමාණයක වැඩ අවසන් කර ඇත.තව ද වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් මාවනැල්ල , යටියන්තොට හා දෙහිඕවිටින් වාර්තා වන අතර පසුගිය වසරේ මරණ හයක් වාර්තා වන අතර මේ වසරේ මේ වන තෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවත් මෙහිදී කියැවිණි.

මින් ඉදිරියට උසස් පෙළ සිසුන් සඳහා 80%ක පැමිණිම අනිවාර්ය කිරිමට කටයුතු කෙරෙන අතර මේ මස 22 දින තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ දි ආණ්ඩුකාරවර නමින් ජංගම සේවයක් ක්‍රියාත්මක වන අතර පලාත් සභාව මඟින් ක්‍රියාත්මක අමාත්‍යංශ හතරට අදාල මහජන සේවාවන් එදිනට සැපයිමට නියමිතයි.

දිස්ත්‍රික්කයේ අස්වැසුම ප්‍රතිලාභීන් පිළිබඳ ප්‍රගතිය ප්‍රකාශ වු අතර අන්ත දුගී කාණ්ඩයේ 24,118ක්, දුගී කාණ්ඩයේ 38,978ක් , අවධානමට ලක් වූ කාණ්ඩයේ 18,785 හා සංක්‍රාන්තික කාණ්ඩයට 16, 241ක් ලෙස දැනට අස්වැසුම සදහා ප්‍රතිලාභීන් සුදුසුකම් ලබා ඇති බව ප්‍රකාශ විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතා ඇතුලු දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, ආණ්ඩුකාර ලේකම් ප්‍රබාත් උදාකර ,දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ , යන මහත්වරුන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ,මාණ්ඩලික නිලධාරීන් ,ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.