සබරගමුව පළාත් සභාව හා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන 2023/2024 වර්ෂ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ වොලිබෝල් සංවර්ධන ව්‍යාපෘතියේ මුලික කරුණු පිළිබඳ හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඒ අනුව 2023 වසරේ සබරගමුව පළාත නියෝජනය කළ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංවිත අඛණ්ඩව පවත්වාගෙන යාම, කෑගලු බාලිකා හා කෑගලු විද්‍යාලය ආශ්‍රිතව වොලිබෝල් පුහුණු මධ්‍යස්ථානයක් ප්‍රවර්ධනය කිරිම කෙරෙහි මෙහිදි අවධානය යොමු විය.

වොලිබෝල් ක්‍රිඩාව පාසල් ළමුන් හා රාජ්‍ය ආයතන අතර ප්‍රචලිත කිරිම අරමුණු කර ගනිමින් කෑගලු වොලිබෝල් සැණකෙළිය , විවෘත වොලිබෝල් තරගාවලිය, ආධුනික වොලිබෝල් තරගාවලිය, රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය , ප්‍රවීනයන්ගේ වොලිබෝල් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

වොලිබෝල් පුහුණුකරුවන්ගේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරිම කෙරෙහිද අවධානය යොමු වු අතර ඒ සඳහා පුහුණු කඳවුරු පැවැත්වීම, විනිසුරු පාඨමාලා පැවැත්වීම කෙරෙහිද අවධානය යොමු විය.

මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, පළාත් අධ්‍යාපන අමාතයංශ ලේකම් බී. ඒ. සී. පි. බමුණු ආරච්චි, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලීප් නිශාන්ත, පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ඩබ්ලිව්.චතුරංගිකා ප්‍රේමරත්න යන මහත්ම මහත්මින්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ, සහකාර දිස්ත්‍රික් ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් , දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරි, දිස්ත්‍රික් ක්‍රිඩා අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වුහ.