දිවයිනේ පළමු දිස්ත්‍රික් විගමණික සංගමය කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (16) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පිහිටුවිය.

විගමණික ශ්‍රමිකයින් විගමණ ක්‍රියාවලියේ සෑම අදියරකදීම එනම් පිටත්ව යාමට පෙර, විගමනයේ දී, ඔවුන්ගේ සේවා කාලයේ දී සහ ඔවුනගේ ප්‍රජාවන් වෙත නැවත පැමිණීම හා නැවත සමාජගත කිරිම වැනි විවිධ අවස්ථාවන්වලදී නිසි මගපෙන්විමක් යටතේ සංවිධානගතව විගමණික ශ්‍රමිකයින් හා ඔවුනගේ පවුල්වල සාමාජිකයින්ට තම සුබ සිද්ධින් උදෙසා මේ හරහා අවස්ථාව උදා වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ලම ආවරණය වන පරිදි අභිනවයෙන් මෙම සංගමය සඳහා නිලධාරීන් පත් කර ගැනීම අද දින සිදු විය.මීට සමඟාමීව විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන් සඳහා රුපියල් දස දහසක් වටිනා පාසල් උපකරණ කට්ටල දහ අටක් බෙදා දීමක් ද සිදු කෙරිණි.

මෙම වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හා දිස්ත්‍රික් විදේශ රැකියා අංශයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරී (විදේශ රැකියා) හරේන්ද්‍ර උඩුමුල්ල මහතා ඇතුලු නිලධාරින් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩොනල්ඩ් මුරගේ, එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) එම්.පී.ඩී.සී.ඩබ්ලිව් කුමාරි යන මහත්ම මහත්මින් , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්, විගමණික ශ්‍රමිකයිනගේ පවුල්වල සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.