පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡාවට ලක් කෙරුණු දිස්ත්‍රික්කයේ ප්‍රවාහන ගැටලු ආශ්‍රිත විශේෂ සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ ලංගම හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවය සම්බන්ධ ගැටලු සාකච්ඡා කර ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබා දීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම හා තීරණ ගැනීම් සඳහා මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

ඒකාබද්ධ කාලසටහන්වල ගැටලු නිරාකරණය කරමින් වඩා විධිමත් ප්‍රවාහන සේවයක් ඇති කිරීම, නගරයේ වාහන තදබදය අවම වන ආකාරයට කාලය කළමනාකරණය කිරීම, අතුරු මාර්ගයන්හි හා දුරස්ථ ගම්මානවලට ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම ,දුර ගමන් සේවා හා පළාත් අතර ගමන් ගන්නා බස් රථවල කටයුතු විධිමත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ අතර ඊට අදාල විසඳුම් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී එකඟ විය.

බුලත්කොහුපිටිය නගරය ආශ්‍රිත ප්‍රවාහන කටයුතුවල පවතින ගැටලු පිළිබඳ බුලත්කොහුපිටිය නගරයේ වෙළෙඳ සංගමය විශේෂයෙන් කරුණු පෙන්වා දුන් අතර ඒ පිළිබඳ මැදිහත්ව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් හා සම්පත් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට ද මෙහිදී එකඟතාවය පළ කෙරිණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ,දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන්, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ ගාමිණී ඒකනායක, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ චාවින්ද කරුණාරත්න යන මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.