කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබද විමසා බැලෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සබරගමු පළාත් ආණ්ඩුකාර,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නවීන් දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රිනි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.
මෙවර උසස් පෙළ විභාගයේ දිවයිනේ කලා අංශයේ ප්‍රථම ස්ථානය ලබාගත් කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ සචිනි සත්සරණි, ඉංජිනේරු තාක්ෂණ අංශයේ දෙවැනි ස්ථානය කෑගල්ල ස්වර්ණ ජයන්ති ජාතික පාසලේ සංජනා ලලින්ද්‍යා සහ ජෛව පද්ධති තාක්ෂණ අංශයේ පස්වැනි ස්ථානය ලබාගත් කෑගල්ල ස්වර්ණ ජයන්ති ජාතික පාසලේ තරුෂි හිමාෂා යන සිසුවියන් ඇගයිමක්ද දිස්ත්‍රික් සම්බන්ධි කරණ කමිටුවේදී සිදු කෙරිණි.
මෙවර උසස් පෙළ විභාග ප්‍රතිපල මත කෑගල්ල දිස්ත්‍රික්කය 12 වන ස්ථානයේ පවතින අතර දරුවන්ගේ සමස්ත ප්‍රතිපලයන්හි අඩු විමක් ඇති අතර ඒ සදහා ගුරුවරුන්ගේ හිගයත් ආර්ථික අපහසුතාවයත් බලපාන බව මෙහිදි හෙලි විය. සබරගමු පළතේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවිම සඳහා ගුරුවරුන් සඳහා අවශ්‍ය පුහුණු ලබා දිමටත් , පාසල් පරිගනක විද්‍යාගාර පහසුකම් ලබා දිමටත් ඉදිරියේදි කටයුතු කරන බවත් ආණ්ඩුකාරතුමන් වැඩි දුරටත් පැවසීය.
මෙම හමුවේ දී අලුත් ගමක් අලුත් රටක් සංවර්ධන වැඩසටහන, සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන හා සාම්ප්‍රදායික නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘති පිළිබද ප්‍රගතිය ඉදිරිපත් විය. ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ බුලත්කොහුපිටිය, වරකාපොල , ගලිගමුව, දෙහිඹ්විට වසම් සඳහා මේ වන විට ප්‍රතිපාදන වෙන් වී ඇත. එමෙන්ම සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රජාවගේ සෘජු සහභාගීත්වය ඇතිව අරණායක වලගම ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් ජනසභා පිහිටු වීම ,ගෘහ ආශ්‍රිත එළුවන් ඇති කිරිමේ වැඩසටහන්හි ප්‍රගතිය මෙහිදි අනාවරණය කෙරිණි.
පළාත් සභා පාසල් වන සීලානන්ද හා රාජකීය විදුහලේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු වෙනුවෙන් මේ වසරේ වෙන් වු ප්‍රතිපාදන මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට නියමිතය. බණ්ඩාරනායක විදුහල, හෙට්ටිමුල්ල විදුහල හා පන්නල මහා විදුහල සදහා 2024 වසරේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු වෙනුවෙන් අවශ්‍ය ඇස්තමේන්තු මේ වන විට සකස් කර ඇත.
කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට 7182 ක පිරිසක් විදෙස් ගත වී ඇති බවත් විදෙස්ගත වන්නන් සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත සාත්තු සේවා පුහුණු වැඩ සටහන් , භාෂා ප්‍රවීනතාවයන් ලබා දීම, විදෙස් ගත වන සෑම පුද්ගලයෙක් සඳහාම දින දෙකක පුහුණු වැඩ සටහනක් පැවැත්වීම මේ වන විටත් සිදුවන බව මෙම කමිටුවේදී හෙලි විය. ඊට අමතරව විගමණික පවුල් වල දරුවන් සදහා ශිෂ්‍යත්ව වැඩසටහන්, රුපියල් දස දහසක් වටිනා අධ්‍යාපන ආධාර කට්ටල හා ආබාධ සහිත වුවන් සදහා අවශ්‍ය උපකරණ ලබා දිමද මේ වන විටත් ක්‍රියාත්මකය.
දිස්ත්‍රික්කය තුල අනාරක්ෂිත හා අවධානම් සහිත දරුවන් ආරක්ෂා කිරීම සදහා අපේක්ෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයක අවශ්‍යතාවය මෙහිදි අනාවරණය විය. මේ වන විට දිස්ත්‍රික්කය තුළ අනාරක්ෂිත දරුවන් 356 ප්‍රමාණයක් සිටින බවත් සමාජ මෙහෙවරක් ලෙස මෙම දරුවන් රැක බලා ගැනීම සඳහා වැඩපිළිවෙලක් සැකසිමේ අවශ්‍යතාවයත් මෙහිදි සාකච්ඡා කෙරිණි.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගයේ වැඩි විමක් ඇති බවත් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් මාවනැල්ල , වරකාපොලින් වාර්තා වන අතර පසුගිය වසරේ මරණ හයක් වාර්තා වන අතර මේ වසරේ මේ වන තෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවත් මෙහිදී කියැවිණි. නිවාස හා රාජ්‍ය ආයතන පිරිසිදු කිරිම කෙරෙහි නිරන්තර අවධානයක් යොමු කලයුතු බව මෙහිදි අවධාරණය කෙරිණි. එමෙන්ම ශෛල්‍යාගාර තුනකින් හා රෝගීන් 170 ක පමණ පිරිසකට ප්‍රතිකාර ලබා ගත හැකි අක්ෂි මධ්‍යස්ථානයක් රඹුක්කන ප්‍රදේශයේදී විවෘත විමට නියමිතය.
මෙම අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හෙරත්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක යන මහත්වරුන් ඇතුලු දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ආණ්ඩුකාර ලේකම් ප්‍රබාත් උදාකර ,දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ , යන මහත්වරුන් ,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ,මාණ්ඩලික නිලධාරීන් ,ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානින්, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


























