කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය හා අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ හා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සංචාරක ආකර්ෂණීය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පාරිසරික සංචාරක කලාපයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. ඒ පිළිබඳ විශේෂ හමුවක් පසුගියදා (27) විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංචාරක ආකර්ෂණීය ස්ථාන හඳුනා ගැනීම, එම තෝරා ගන්නා ඉඩම් කුලියට හෝ විකිණීමට කැමති පෞද්ගලික ඉඩම් හිමියන් හඳුනාගැනීම ,එම සංචාරක කලාපවල මාර්ග පහසුකම් හඳුනා ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් පිළිබඳ පිළිබඳව සාකච්ඡා කෙරිණි. ඊට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂාවක් හා වාර්තාවක් ලබාදීමට ද මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනි රාජිකා වික්‍රමසිංහ ,දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, කෑගල්ල හා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් (ඉඩම්) බුලත්කොහුපිටිය, අරණායක, ගඟ ඉහළ හා පස්බාගේ කෝරලවල ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික්ක සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, නියෝජ්‍ය සැලසුම අධ්‍යක්ෂිකා ඉන්දිකා සේනාරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්,ඉහත ප්‍රාදේශීය ලේකම් කොටස්වල ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.