ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් හා ඔවුනගේ පවුල් සඳහා ප්‍රජා මූලික පුනරුත්ථාපනය සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ සමාජ සේවා නිලධාරි හා සංවර්ධන නිලධාරින් වෙනුවෙන් මූලික කණ්ඩායම් නිලධාරී එක් දින පුහුණු වැඩසටහනක් අද (10) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන දිස්ත්‍රික්ක 25 ම තුල ක්‍රියාත්මක වන අතර ඊට අදාලව නවක නිලධාරීන් පුහුණු කිරීමත්, පුහුණුකරුවන් පුහුණු කිරීමටත්, ඒ මඟින් අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමටත්, ස්වේච්ඡා සේවකයින් පුහුණු කිරිමටත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් සමාජ සේවා නිලධාරීන්ගෙන් සැදුම්ලත් පුහුණු කණ්ඩායමක් අනුයුක්ත කර ඇත. එහි පියවරක් ලෙස මෙම මුලික කණ්ඩායම් නිලධාරී එක් දින පුහුණුව අද දින පැවැත්විණ.

ඒ අනුව ආබාධිතතාවයන් හා ඒ පිළිබඳ සමාජ විද්‍යාත්මක විකාශයන් පිළිබඳ සෞඛ්‍යමය, සමාජ සුබසාධනමය, අයිතිවාසිකම් ප්‍රවේශයන්, ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දි දැනුවත් විම, සජීවිකරණය තුලින් ඔවුනගේ චින්තනය ධනාත්මක ලෙස ඉහළට ගෙන ඒම ඇතුලු විෂයන් කිහිපයක් කෙරෙහි මෙහි දි නිලධාරීන් දැනුවත් කෙරිණි.

මේ සඳහා සම්පත් දායකයින් ලෙස ජයවිරු සමාධි ආයතනයේ ස්ථානභාර නිලධාරී පද්මසිරි ගම්ලත්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ CBR සම්බන්ධීකරණ නිලධාරී අජිත් සේරසිංහ යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙම වැඩසටහන දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුලු එම අංශය විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී , පලාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂිකා (සබරගමු පළාත්) චතුරංගිකා ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා හා සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.