කෑගල්ල දිස්ත්‍රිකක්යට අනුයුක්ත මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් අද (13) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහි දි වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්, මානව සම්පත් නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ මෙතෙක් අදාල කේෂත්‍රයන් පිළිබඳ පුහුණුවක් ලබා නොමැති නිලධාරීන් සඳහා පුහුණුවක් ලබා දීමත්, කාලානුරූපිව නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරිමත් මෙම පුහුණුවේ අරමුණු විය.

ඒ අනුව වර්තමානයේ පවතින විදේශ රැකියා අවස්ථා, විදේශගත වන ශ්‍රමිකයින්ගේ කුසලතා වර්ධනය කිරිම ඇතුලු විදෙස් රැකියාවන්හි නව ප්‍රවණතා හා අවශ්‍යතා පිළිබඳ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී එම්.ආර්.සී.බී ඒකනායක මහතා විසින් කරුණු පැහැදිලි කර දෙන ලදී. එමෙන්ම විදේශ රැකියාවක් සඳහා වෘත්තීය පුහුණුවේ වැදගත්කම හා එහි නව ප්‍රවණතා පිළිබඳ තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොම්ෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.බී වජේසිංහ මහතා විසින් කරුණු එක්කර දෙන ලදී.

එමෙන්ම මෙම අවස්ථාවට සමගාමීව මානව සම්පත් නිලධාරීන්ගේ ප්‍රගතිය විමසා බැලීමක්ද සිදුවිය.

දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එච්.ආර් කිරිඇල්ල යන මහත්වරුන් , මානව සම්පත් නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.