රාජ්‍ය නිලධාරීන් සතු හැකියාවන් අනුව නිදහස් සේවකයෙකු ලෙස මුදල් ඉපයීම සඳහා දැනුම ලබාදීමේ අරමුණින් Freelancing පිළිබඳ පුහුණු වැඩසටහනක් ඊයේ (07) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

 ජාතික වශයෙන් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වැදගත් වන වැඩසටහන් සහ ඩිජිටල් සංවර්තන ව්‍යාපෘති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමක ව්‍යාප්ත කිරීම සඳහා පිහිටුවා ඇති කෑගල්ල දිස්ත්‍රික් සංවර්තන ක්‍රියාකාරී සැලැස්මෙහි ක්‍රියාකාරකමක් ලෙස මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ඩිජිටල් freelancing, අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම හා එහි නව ප්‍රවනතා, ලංකාවේ නීතිමය පසුබිම හා අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ප්‍රතිලාභ, මුදල් හුවමාරු වේදිකා ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දැනුවත් කෙරිණි.

මෙම වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය ජේෂ්ඨ කළමනාකරු මනෝජ් හේමන්ත හා කළමනාකරු චරිත් නන්දසිරි හා ජේෂ්ඨ පද්ධති ඉංජිනේරු මලිත මානවඩුගේ යන මහත්වරුන් එක්ව සිටියහ.

දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මිය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කළ රාජය නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.