මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගියදා (19) දින සවස කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති වු ආපදා තත්ත්වය, එහිදී ඇති වූ ගැටළු සහ ඒවාට අවශ්‍ය විසඳුම් හා සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය හා දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (21 ) පෙරවරුවේදී පැවැත්විණි.
මෙම හදිසි අපදා අවස්ථාවේදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්ෂේත්‍ර නිලධාරීන්, පොලීසිය හා ත්‍රිවිධ හමුදාව තොරතුරු ගලා ඒමේ විධිමත් සැලැස්මකට අනුව කටයුතු කිරීම නිසා තොරතුරු ලබා ගැනීමට පහසු වු අතර හදිසි ගංවතුර මගින් පීඩාවට පත් ජනතාව හැකි ඉක්මනින් බේරා ගැනීමට හැකි වු බවත් සියලු දෙනාම එකම යාන්ත්‍රණයකින් යුතුව ආපදා තත්වයට සැලසුමකට අනුව කටයුතු කිරීම අගය කල යුතු බවත් දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගියදා ඇතිවූ හදිසි ආපදා තත්වය හේතුවෙන් කෑගල්ල, අරණායක, ගලිගමුව, වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාව ආපදා තත්ත්වයකට පත් වු අතර කෑගල්ල නගරය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇති විමද මෙහිදී දැකිය හැකි විශේෂ කරුණකි. කෑගල්ල නගරය ආශ්‍රිතව එක් රැස් වූ ජලය බැස යෑමට විදිමත් සැලැස්මක් ක්‍රියාක්මක කිරිමට කාලයක සිට උත්සාහ ගත්තද මේ වන තුරු විවිධ හේතූන් නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම අලාභ හානි වලින් බහුතරයක් සිදු වී ඇත්තේ අනවසරයෙන් ඉදි කරන ලද ගොඩනැගිලිවල වලටය. රථවාහන 50 කට අධික ප්‍රමාණයක් සඳහා අලාභ හානි සිදුව ඇතත් ස්වාභාවික ආපදා රක්ෂණයකට ලක් කර ඇත්නම් පමණක් අදාල රක්ෂණ සමාගම් මගින් වන්දි ලබා ගැනීමට හැකිය.
මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදුවූයේ ප්‍රධාන වශයෙන්ම ඇළ මාර්ග ආශ්‍රිතව ඒවා අවහිර වන සේ ඉදිකර ඇති අනවසරයෙන් ඉදිකිර ඇති ගොඩනැගිලි හේතුවෙන් බව සාකච්ඡාවේ අවධානයට ගත් කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇළ මාර්ග පිටාර ගැලීම, පාලම් අවහිර වීම හා ඒවාට අලාභ හානි සිදු වීමය.
අනතුරුදායක ගස් කපා ඉවත් නොකිරීම ද ඒවා ගොඩනැගිලි හා මහා මාර්ග වලට කඩා වැටී අනතුරු සිදු වීමේ හැකියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී පැන නැගුණි.
මෙහිදී විශේෂ අවධානයට ලක්වූ කරුණක් වූයේ කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණය ජලයෙන් යට වීම, වෑවලදෙනිය විහාරස්ථානය ආශ්‍රිත ප්‍රදේශය ජලය යට වීම එමෙන්ම රංවල පාලම ආශ්‍රිත ව දේශයෙහි සිදුවී ඇති හානිය පිළිබඳවය.
පැය තුනක් පමණ කාලයක් තුළ තුල ගංවතුර තත්ත්වය පාලනය කර ආපදා තත්වය අවම කිරීමට හැකි වුයේ සැලසුම් සකස්කර තිබීමය. දැනට පවතින කාලගුණ තත්ත්වය මත ඉදිරි දිනවලදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගැනීම, ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට නව නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම ආදී කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
සබරගමු පළාත් ආණ්ඩුකාර තුමන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත රජයේ නිවාඩු දිනයක හෝ රාත්‍රී කාලයක් තුලදී යම් ස්වාභාවික ආපදා තත්ත්වයක් ඇති ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා රාත්‍රී කාලයේ දී ක්‍රියාත්මක විය හැකි සහන කණ්ඩායමක් ස්ථාපිත කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) දිලිප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ඒ.ඒ.වීරකෝන්, කෑගල්ල ආපදා කළමනාකරණ එකකයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල යන මහත්වරුන් හා හමුදා ප්‍රධානීන්, පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.
























