කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) තනතුර සඳහා අද දින (23) යෙදුණු සුභ මොහොතින් කේ.ජී.එස්. නිශාන්ත මහතා වැඩ භාර ගත්තේය.

පරිපාලන ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක් සහිත ඒ මහතා අම්පාර ගලහිටියාගොඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් අතර ඉන් අනතුරුව ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය ශ්‍රී ලංකා රුහුණ විශ්වවිද්‍යාලයෙනුත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා විෂය ධාරාවෙන් පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළේ ය.

2000 වසරේ දී සිය පළමු පත්වීම ලෙස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය ලිපිකරු සේවයට එක්වූ ඒ මහතා 2003 වර්ෂයේ සැප්තැම්බර් මස 02 වැනි දින ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් විය. එතැන් පටන් උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, අම්පාර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහකාර කොමසාරිස්තුමා ලෙසත්, පදියතලාව, ගලිගමුව සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් කටයුතු කර ඇත. වසර විස්සක කාලයක් පරිපාලන සේවයේ අත්දැකීම් සහිත කේ.ජී.එස්. නිශාන්ත මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකි.