ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන අංශය මඟින් දිවා මධ්‍යස්ථාන ආශ්‍රිත අභිප්‍රේරණ , ඩිජිටල් සාක්ෂරතාවය, යෝග ව්‍යායාම හා රැකියා උත්පාදන වැඩසටහනට අදාල දෙවන අදියර ලෙස කෑගලු දිස්ත්‍රික්කය පුරා පිහිටා ඇති වැඩිහිටි දිවා මධ්‍යස්ථානවල වැඩිහිටියන් සිය දෙනෙකු වෙනුවෙන් වැඩසටහන් රැසක් 22 හා 23 දෙදින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

එහි පළමු දින ගී රස වින්දන වැඩසටහනක් පැවැත්වූ අතර කලාකරු සුරත් බාලසුරිය, ප්‍රවිණ සන්නිවේදක සමන් බණ්ඩාර යන මහත්වරුන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් ඊට සම්පත් දායකත්වය ලබා දුණි. අනතුරුව සාර්ථක ගෙවතු වගාවක් පවත්වාගෙන යාම සම්බන්ධව දැනුවත් කිරිම දිස්ත්‍රික් විෂය භාර නිලධාරී චාන්දනි අලහකොන් මහත්මිය විසින් සිදු කල අතර දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය පිළිබඳ ලමාරක්ෂක නිලධාරි ඉන්දිකා ජයවර්ධන මහත්මිය විසින් දැනුවත් කරන ලදී.

දෙවන දින පලමු වැඩසටහන ලෙස ප්‍රථමධාර පිළිබඳ දැනුවත් කිරිම සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි උපාලි රණසිංහ මහතා විසින් ද වෛද්‍ය කෞෂල්‍යා කොඩ්තුවක්කු මහත්මිය විසින් සක්‍රීය වයස්ගතවීම උදෙසා පෝෂණය හා ව්‍යායාම පිලිබඳ ද දැනුවත් කෙරිණි. වැඩිහිටිවියේ මෘදු කුසලතා සංවර්ධනය හා ධනාත්මක චින්තනය පිළිබඳව උපදේශන නිලධාරී ධනුෂ්ක ආරියවංශ මහතා විසින් වැඩිහිටියන් දැනුවත් කරන ලදි.

දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරි ඩිලානි කුමාරි මහත්මිය ඇතුලු එම අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීශා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන් , දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජිකයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.