දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩල නිලවරණය අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජි.එස්. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මේ වසරේ සංවිධානය කර පැවැත්වූ විශේෂ වැඩසටහන් ,ඒවා සඳහා වැය වූ ගිණුම් වාර්තාවන් ද දිස්ත්‍රික් බල මණ්ඩල නිලධාරීන් විසින් සභාව වෙත ඉදිරිපත් කර ඉදිරි දෙවසර සඳහා නව දිස්ත්‍රික් බල මණ්ඩල නිලධාරීන් පිරිසක් තෝරා පත්කෙරිණි .

මෙහිදී අදහස් දක්වමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමන් පවසා සිටියේ කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය සෙසු දිස්ත්‍රික්කන්ට වඩා ඉහළින් සිටිමින් දිස්ත්‍රික්කය තුල ඇති සෙසු සමිති සමාගම්වලට ද ආදර්ශයක් සපයමින් ඉතා ක්‍රියාකාරී මට්ටමේ පවතින බවයි. වැඩිහිටි බලමණ්ඩල මගින් අපේක්ෂා කරනුයේ ජීවිතයේ සැඳෑ සමයේ සිටින සෑම වැඩිහිටියකුට ම, ජේෂ්ඨ පුරවැසියෙකුටම ඔවුන් ඉතා සතුටින් සහ නිරෝගී සිටිමය. බලමණ්ඩලවල සිටින වැඩිහිටි නිධාරීන් සක්‍රිය වැඩ කිරීම තුළින් එම අපේක්ෂිත කාර්යන් ඉටු වෙන බවත් ඒ මහතා වැඩ් දුරටත් පැවසීය.

ඉදිරි වර්ෂයේ දී කිරීමට අපේක්ෂිත වැඩසටහන් මෙහිදී සාකච්ඡා කෙරිණි .ඒ අනුව වැඩිහිටි සැමරුම් දින උත්සවය, නායකත්ව පුහුණු වැඩමුළු, වෙළඳ ප්‍රදර්ශනය, දිස්ත්‍රික් බල මණ්ඩල මගින් නිර්මාණය කරන නාට්‍ය වැඩසටහනක් ප්‍රදර්ශනය කිරීම, ගී රසවින්දන වැඩසටහන්, වැඩිහිටි අවුරුදු උත්සවය, දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ඊට ඇතුළත් ය.

මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික් වැඩිහිටි නිලධාරි දිලානි කුමාරි මහත්මිය ඇතුළු වැඩිහිටි අංශයේ නිලධාරීන් දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි සරත් රණවීර මහතා ඇතුළු වැඩිහිටියන් පිරිසක් එක් වූහ.