ජාතික ළමාරක්ෂක අධිකාරිය හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පාසල් ජේෂ්ඨ ශිෂ්‍ය නායකයන් සඳහා වන ළමා ආරක්ෂාව පිළිබඳ ශිෂ්‍ය තානාපති ජාතික පුහුණු වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් සමාරම්භය ඊයේ (01) ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දිවයින පුරාම ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා ලියාපදිංචි වු පාසල්වල ජේෂ්ඨ පාසල් ශිෂ්‍ය නායකයින් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ශිෂ්‍ය තානාපතිවරුන් ලෙස කටයුතු කෙරෙන අතර ඔවුනගේ ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණ වන අතර ඒ ඔස්සේ ළමා හිතකාමී සහ සුරක්ෂිත පරිසරයක් පාසල තුල නිර්මාණය කිරීමට ශිෂ්‍ය නායකයන්ගේ මූලිකත්වය ඇති කිරීම අපේක්ෂිතයි.

අදියර පහක් යටතේ ක්‍රියාත්මක මෙම ජාතික වැඩසටහන තුළින් ජාතික ළමාරක්ෂක අධිකාරිය පිළිබඳ සන්නිවේදන තොරතුරු පාසල් තුළ ප්‍රදර්ශනය කිරීම, ශිෂ්‍ය තානාපති බ්ලොග් සටහන් පවත්වාගෙන යාම , පාසල් ශිෂ්‍ය තානාපති වැඩමුළු, පාසල් ළමා ආරක්ෂක කඳවුරු පැවැත්වීම, ළමා ආරක්ෂාව පිළිබඳ ගුරු හා සිසු සම්මන්ත්‍රණ වැඩමුළු සිදු කිරීම, ශිෂ්‍ය තානාපති සඟරාව නිර්මාණය කිරීම, පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම හා පවත්වාගෙන යාම, ළමා ආරක්ෂාව සම්බන්ධ පර්යේෂණ වාර්තා සැකසීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් සමන්විත වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු තානාපති වැඩසටහන සදහා මුලින්ම ලියාපදිංචි වූ පාසල්වල සිසු නායකයින්ට නිල ලාංජන පැළදවීම හා සහතික පත් ලබාදීමද මෙම අවස්ථාවට සමගාමීව සිදුවිය.

වර්ණවත් විශේෂාංග රැසකින් ද සමන්විත මෙම වැඩසටහන දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරී විනෝදනී කුලතුංග හා දිස්ත්‍රික් මනෝ සමාජ නිළධාරිනි චතුරික බංඩාර යන මහත්මීන් විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) කේ.ජී.එස් නිශාන්ත, ජාතික ළමාරක්ෂක අධිකාරියේ සැලසුම් අධ්‍යක්ෂ ශානිකා මළල්ගොඩ ,සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ලක්ෂිකා මැණික්බෝවල, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ගංගානි මැණිකේ තිලකරත්න යන මහත්ම මහත්මීන් ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා අංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා ආරක්ෂක නිලධාරීන්, පාසල් ශිෂ්‍ය නායකයින් නායිකාවන්,ගුරුභවතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.