දෙසැම්බර් 03 දිනට යෙදුණු ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් පළමු වරට සංවිධානය කළ කෑගල්ල දිස්ත්‍රික් ආබාධිත දින සැමරුම ඊයේ (07) පෙරවරුවේදී කෑගල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.
මාවනැල්ල අශෝකපුර විශේෂ පාසල, අඹන්පිටිය ආබාධිත පුනරුත්ථාපන නිවාසයේ දරුවන් මෙන්ම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ල ආවරණය වන පරිදි ආබාධිත ප්‍රජාව අතරින් ගායනයට, නර්තනයට, රංගනයට, වාදනයට සහ විවිධ කලා හැකියාවන්වලින් සමන්විත කලා ශිල්පීන් රැසකගේ විචිත්‍රවත් අංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
මෙම අවස්ථාවට සමගාමීව 2022 වසරේ අ.පො ස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්ව දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ප්‍රථම වසර චලනාබාධ ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය හදාරන ගයනි ලක්ෂිකා දියණියටත්, 2023 වසරේ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයන් අතරින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගත් උස්සාපිටිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ඔලිත යෙනුල් ශිෂ්‍යයා හටත් විශේෂ ත්‍යාග ලබාදීමක් සිදුකෙරිණ.එමෙන්ම මෙම අවස්ථාවට එක් වූ සියලුම ආබාධිත දරුවන් සඳහාද ත්‍යාග පිරිනැමිණි.
මෙවර කෑගල්ල දිස්ත්‍රික් අබාධිත දින සැමරුම සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය ජනතා සංවර්ධන පදනම, DEVPRO ආයතනය , ORHAN ආයතනය, බෙරන්ඩින ප්‍රජා සංවර්ධන ආයතනය සහ මුසාකෝ යන රාජ්‍ය නොවන සංවිධාන විසින් ලබාදෙන ලදී.
මෙම වැඩසටහන දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ප්රමුඛ දිස්ත්‍රික් සමාජ සේවා අංශය, දිස්ත්‍රික් ස්වශක්ති බල මණ්ඩලය හා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සමාජසේවා නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගේ එකමුතුවෙන් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස් නිශාන්ත, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් විජයානි රත්නසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, කෑගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සමාජ සේවා අධ්‍යක්ෂකතුමිය වෙනුවෙන් ස්ථාන භාර නිලධාරී ප්‍රියන්ත මහතා, ජ්‍යෙෂ්ඨ සමාජ සේවා නිලධාරී (පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව) එස්.ඒ ජයන්ත මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, දිස්ත්‍රික් ස්වශක්ති බලමණ්ඩලයේ සමාජිකයන්, ආබාධිත දරුවන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.




































