2024 වසරේ පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (05) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය.

ප්‍රථමයෙන්ම දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා විසින් නව වසරට සුභාශිංශන එක් කරමින් පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර පසුගිය වසරේ ප්‍රගතිය පිළිබඳව කෙටි සමාලෝචනයක යෙදිණි.

පසුගිය වසරේ අවසන් මාස කිහිපය තුළ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිදුවී ඇති හානි පිළිබඳව හා ගංවතුරින් සිදුවූ පාලම්, බෝක්කු, මාර්ග කැඩී යාම් පිළිබඳවත්, වැසි ජලයෙන් යටවූ ස්ථාන සම්බන්ධයෙනුත් තොරතුරු විමසා බැලිණි.එමෙන්ම එම ගංවතුර තත්ත්වයට බලපෑ අනවසර ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අවධානය යොමු විය.

තවද මෙම හමුවේදී ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගුරු හිගය, සංගිලි පාලම් පිළිසකර කිරීම, බෝක්කු කැඩී යාම්, පැති බැමි ඉදිකිරීම් පිළිබඳව මෙන්ම ජන සංගණනයේදී ඇති වූ ගැටලු, අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් පවතින ගැටලු හා එහි වත්මන් ප්‍රගතියත්, ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින පොදු දුෂ්කරතා හා ගැටලු පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් සැලසුම් අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුවේ සම සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ ,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ,විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත් මහත්මීන් ඇතුළු දේශපාලන අධිකාරිය, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.