ආහාර සුරක්ෂිතාව හා ජීවනෝපාය සංවර්ධන ප්‍රතිපාදන හදිසි ආධාර වැඩසටහන යටතේ සක්‍රිය දායකත්වය සඳහා දිරිගැන්විම අරමුණු කරගනිමින් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධ සහිත වූවන් සදහා ප්‍රධාන වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර එහි දෙවන වැඩසටහන අද දින ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, අරණායක, වරකාපොල, රඹුක්කන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ආබාධිත ප්‍රජාව අතුරින් තෝරා ගත් දැනට ව්‍යාපාරයක නිරත හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂිත පුද්ගලයින් තිස් දෙනෙකු සඳහා එළවළු හා පලතුරු විජලනය පිළිබඳ පුහුණුවක් අද (09) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙම වැඩසටහනේදී ව්‍යාපාරයක් කර ගෙන යාමේ දී ඇතිවන ගැටලු හා එම අභියෝග සාර්ථකව ජය ගැනිම සඳහා ඇති කර ගතයුතු ආකල්ප සංවර්ධනය පිලිබද දේශනයක් ජයවිරු සමාධි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී පද්මසිරි ගම්ලත් මහතා විසින් පවත්වන ලදී.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී. සේනානයක මහතා විසින් ව්‍යාපාරයක් ආරම්භ කිරිම හා එය පවත්වා ගැනිම සම්බන්ධයෙන් අදහස් පල කල අතර ව්‍යාපාර ප්‍රවර්ධන කලමණාකරු මිගාර කප්පාගොඩ මහතා විසින් ආහාර විජලනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ලදි.

එමෙන්ම මෙම අවස්ථාවට සමඟාමිව ආබාධිත සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය මඟින් දිස්ත්‍රික්කයේ දැනට සාර්ථකව ව්‍යාපාරයන් සිදු කරගෙන යන ආබාධිත ව්‍යවසායකයින් දෙදෙනෙකු සඳහා එම ව්‍යාපාර දියුණු කර ගැනිම සඳහා රුපියල් පනස්දහස බැගින් මුදලක් පිරි නැමිණි.

දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුලු එම අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස්. නිශාන්ත යන මහත්වරුන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සමාජ සේවා නිලධාරීන් , ආබාධිත ප්‍රජාව හා ඔවුනගේ භාරකරුවන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.