හින්දු බැතිමතුන්ගේ හිරු දෙවියන් පිදීමේ මංගල්‍යය හෙවත් තෛපොංගල් මංගල්‍යයේ හරයන් හා චාරිත්‍රයන් ඇතුළත් තෛපොංගල් දින සැමරුමක් අද (24) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි.

මෙහිදී අඹේපුස්ස ශ්‍රී බද්ධකාලී හනුමාන් දේවස්ථානයේ පූජකතුමන් විසින් සියලුම ආගමික වතාවත් හා චාරිත්‍ර සිදු කළ අතර කාලිඅම්බල් දහම් පාසලේ හා ශාන්ත මරියා දමිළ විද්‍යාලයේ දැරියන්ගේ විචිත්‍රවත් නර්තනාංග වලින් ද මෙම සැමරුම සමන්විත වී තිබිණි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ නර්තනයෙන් හා ගායනයෙන්ද වර්ණවත් වූ මෙම අවස්ථාවේ තෛපොංගල් සැමරුමෙහි අරුත පිළිබඳව හඳුන්වාදීම දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනි ඩිලානි කුමාරි මහත්මිය විසින් සිදු කළාය.

ශ්‍රී නදීකා ජුවලරී, ශ්‍රී ලතා ජුවලරි ,මිලේකා ජුවලරි සහ ආර්ති ජුවලරි යන ආයතනවල අනුග්‍රහයෙන් පැවති මෙම වැඩසටහනට නර්තනාංගයෙන් දායකත්වය දැක්වූ දැරියන්ට ත්‍යාග ලබාදීමට අනුග්‍රහය දැක්වූයේ වරකාපල දමිළ සමාජ සංවර්ධන පදනම විසිනි.

මෙම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කේ.ජී.එස්. නිශාන්ත යන මහත්වරුන් හා මාණ්ඩලික නිලධාරීන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.