දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල විසින් කාර්තුමය වශයෙන් පවත්වාගෙන යා යුතු වැඩසටහන් පිළිබඳව මෙන්ම නව වසරේ ඉදිරි වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (26 ) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

ප්‍රථමයෙන්ම අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස් නිශාන්ත මහතා විසින් අරමුණු පැහැදිලි කොට පැමිණ සිටි පිරිස පිළිගැනීමෙන් පසු පසුගිය සභාවාරයේ වාර්තාව ලේකම් සුනිල් ගම්ලත් මහතා විසින් සභාවට ඉදිරිපත් ලදී.

ඒ අනුව ප්‍රාදේශීය බල මණ්ඩල මගින් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් ඒ ඒ ප්‍රාදේශීය දිස්ත්‍රික් බල මණ්ඩල නියෝජිතයන් විසින් යෝජනා කරන ලදී. එහිදී දිස්ත්‍රික්කයේ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් කුඩා පරිමාණයේ කලා වැඩසටහන් ප්‍රාදේශීය බල මණ්ඩල මගින් සංවිධානය කිරීමටත්, වසම්වලට රැගෙන යාමටත් යෝජනා වූ අතර කෙටි නාට්‍ය වැඩසටහන්, පැදුරු සාජ්ජය වැනි කලා අංග ඒ අතර විය.

කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් කලා වැඩසටහන් සංවිධානය කිරීමට විශාල මුදලක් වැය වන බැවින් ආසන්නතම ප්‍රාදේශීය බල මණ්ඩල කිහිපයක එකමුතුවෙන් මෙවැනි වැඩසටහන් පැවැත්වීමට ද යෝජනා විය. එහිදී මූල්‍යමය ගැටලු විසඳා ගැනීම සඳහා ටිකට් පතක් අලෙවි කිරීමටද යෝජනා වූ අතර කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් සිංහල අලුත් අවුරුදු උත්සවය අවුරුද්දට කලින් සංවිධානය කිරීමටද යෝජනා විය.

මීට අමතරව ප්‍රාදේශීය වශයෙන් වසම්වලට ගොස් එම වසම්වල දරු දැරියන් සහ ජනතාව ඉලක්ක කර ගනිමින් සමාජයට යහපත් පණිවිඩයක් දිය හැකි පැරැණි ගීත ගායනා වැඩසටහන් සංවිධානය කිරීම, ප්‍රාදේශීය මට්ටමේ ඇති සැලසුම් දිස්ත්‍රික් මට්ටමට රැගෙන ඒම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට හැකි ආකාරය පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් සාකච්ඡා කර දිස්ත්‍රික්කයට දැනුම් දීමටද මෙහිදී සාකච්ඡා විය.

දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු එම අංශය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින සංස්කෘතික නිලධාරීන්, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.