2024 වසර සඳහා විමධ්‍යගත වැඩ සටහන හා කදුකර දශකය වැඩ සටහන ඇතුලත්ව දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ විමසා බැලෙන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (14) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කදුරට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම මිලියන සියයක ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් වීඇති බවත් ග්‍රාමිය මට්ටමින් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම මුල් කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිත බවත් මේ අවස්ථාව සඳහා එක් වෙමින් නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙවර අයවැය වැඩ සටහන යටතේ ඉදිරිපත් වු කදුකර දශකය 2024-2033 දශ විධ ඒකාබද්ධ සංවර්ධන වැඩ සටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ථාස ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් 569 ක ක්‍රියාත්මක විමට නියමිතය.

පසුගිය වසරේ අවසන් මාස කිහිපය තුළ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් කෑගල්ල නගරය ආශ්‍රිතව ඇතිවු ගංවතුර ආපදා තත්වය හා අනවසර ඉදිකිරිම් පාලනය , පොම්පකර ජල ගබඩාකරණ ජල විදුලි බලාගාරය ඉදිකිරීම් පිළිබඳව සක්‍යතා වාර්තාව සකස් කිරිම පිළිබඳ පැහැදිලි කිරිම, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය මුල් වීමෙන් මේ මස 23 හා 24 දින පැවැත්වීමට නියමිත රැකියා පොල වැඩ සටහන පිළිබඳවද ද මෙහිදී අදහස් දැක්විම් සිදු කෙරිණි.

තවද මෙම හමුවේදී ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගුරු හිගය, සංගිලි පාලම් පිළිසකර කිරීම, මාර්ග සංවර්ධනය කිරිම, ජන සංගණනය සාර්ථක කර ගැනීමට දැක්වු දායකත්වය, , කෑගල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ලවන රිලවුන්ගෙන් වන හානිය, ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින පොදු දුෂ්කරතා හා ගැටලු පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර හා දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුවේ සම සභාපති නවීන් දිසානායක මහතා, දිස්ත්‍රික් සම්බන්ධකරණ කමිටුවේ සම සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ ,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් ,විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත් මහත්මීන් ඇතුළු දේශපාලන අධිකාරිය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද ,පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ යන මහත්වරුන් , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, විවිධ රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.